මා දිහා බලලා රසවිඳින්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක් – ගින්දරී ආයෙමත් එනවෝ

406

පෙනුමේ රහසක් නැහැ – එදා වගේමයි

වරක් ඔබව ත්‍රාසයෙන් ද, හාස්‍යයෙන් ද වගේම සිය රූපයෙන් ද මන්මත් කළ ‘ගින්දරී’ එළැඹෙන 01 වැනිදා ඉඳලා ආයෙමත් ඔයාල ගේ ගමේ, නගරයේ, තියෙන හෝල්වලට එනවලු. ඇත්තටම ගින්දරී නම් හිටියා වගේමලු. මෙදා පාර ගින්දරී මොනවා කරාවිද දන්නේ නැහැ. 01 වැනිදා ඉඳලා ගින්දරී රටටම කියාවිද දන්නෙත් නැහැ. ඉතිං අපි ඒ ගැන දැන ගන්න ගින්දරීට ජීවය දුන්න පබෝධා සංදීපනීව ඇමතුමා. ඉතිං කාලෙකින් ඇයට කතා කරපු හින්ද ඇගේ ආගිය තොරතුරුත් කතා කළා. කිසිම පැකිළීමකින් තොරව දුන්න උත්තර ටික ඔයාලටත් කියවලා බලන්න අපි පහතින් පෙළගැස්සුවා. ගින්දරී 3 රූගත කිරීම් සිදු කරලා ගොඩක් කල් වෙනවා. කොරෝනා වසංගතය හින්ද ගොඩක් චිත්‍රපට ප්‍රදර්ශනය කල්ගියා. දැන් හරි චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න ලැබීම ලොකු ජයග්‍රහණයක්. දැන් තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක දැන් හරි ප්‍රදර්ශනය කරන්න ලැබීම ඇත්තටම සතුට දනවන කාරණාවක් කියලා තමයි ‘ගින්දරී 3’ ප්‍රදර්ශනය වීම ගැන පබෝධා කතාව ආරම්භ කළේ.

● ගින්දරී කියන්නේ පබෝධාගේ සිනමා ජීවිතයේ ලොකු පෙරළියක් කරපු සිනමා කෘතියක්. ඇයට ඒ ගැන තිබුණේ මෙවැනි අදහසක්.

ඇත්තටම මම ගොඩක් පුංචි කාලයේ තමයි ගින්දරී චිත්‍රපටයට සම්බන්ධ වුණේ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ වෑකන්ද වළව්ව නිර්මාණයෙන් පසුව තමයි මට උදයකාන්ත වර්ණසූරියගේ බහුබූතයෝ චිත්‍රපටයට ආරාධනා ලැබෙන්නෙ. බහුබූතයෝ චිත්‍රපටය මගේ ජීවිතයේ ලොකු හැරවුම් ලක්‍ෂ්‍යයක් වුණා. මොකද අවුරුදු ගණනාවකට පසුවත් තවම මිනිස්සුන්ගේ හදවත්වල එපා වෙන්නේ නැතිව ජීවත් වෙන චරිතයක් තමයි ටිකිරි කියන්නේ.

● ටිකිරි මේ තරම් හිට්වීම ගැන මොකද හිතෙන්නේ?

අපි කොච්චර ඇමරිකාවේ, ඉන්දියාවේ චිත්‍රපට ගැන කතා කළත් ටිකිරි කියන්නේ මේ රටේ ආභාෂය තියෙන මේ රටේ ජීවත්වන චරිතයක්.

මා දිහා බලලා රසවිඳින්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක් - ගින්දරී ආයෙමත් එනවෝ

එයාගේ ඇඳුම්වල ඉඳලා ඒ ලක්‍ෂණ තියෙනවා. ලාකාවේ පළමු වතාවට ටෙලි කැමරාවකින් රූගත කරපු චිත්‍රපටය තමයි බහුබූතයෝ.

● ‘ගින්දරී’ හිටපු පබෝධම තමයි ‘ගින්දරී 3’ ඉන්නෙත්. තවම පෙනුමේ වෙනසක් නැහැ කියලා?

පෙනුමේ රහසක් නැහැ. එදා හිටපු පබෝධම තමයි අදටත් ඉන්නේ. මගේ ජීවිතයත් එහෙම තමයි චිත්‍රපටයට දිගින් දිගටම මගේ දායකත්වය ලබාදෙන්න ලැබීමත් මම ලබපු භාග්‍යයක්. හැමෝම හිතනවා නම් මම එදා හිටපු පබෝධමයි කියලා ඒක සතුටට කාරණාවක්. එක දිගට කරනකොට එපාවීමක් වෙන්න පුළුවන්නේ. ඉතිං එහෙම නොවී මා දිහා බලල රසවිඳින්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. මොකුත් රහසක් නම් නැහැ. මම ඉතිං මේ හැමදාම හිටපු විදිහ තමයි.

● පෙනුම හැඩට තියාගන්න කෑම පාලනය එහෙම කරනවා ඇති නේද?

ඔව්. ඔව්. මුල් කාලයේ චිත්‍රපටය කරන කොට මම බොහොම කුඩයි. එතකොට මම ටීනේජර් කෙනෙක්. දෙවැනි චිත්‍රපටය කරනකොට (ගින්දරී) මට පුතා හම්බවෙලා. පුතාට අවුරුද්දයි. එතකොට මම සාමාන්‍ය ප්‍රමාණයට මහත්වෙලයි හිටියේ. මාස තුනක කාලයක් ඇතුළත ඇඟ හදා ගත්තා ගින්දරී 3 කරන කොටත් මම සෑහෙන මහන්සිවෙලා ඇඟ හැදුවා. ගින්දරීට කතා කරනකොටම මම වැඩිපුර අවධානය යොමු කරන්නේ මගේ ඇඟ ගැන තමයි. ඒ ඇඳුම මහත්වෙලා කැතයි. ඉතිං හැම තිස්සේම ඇඟ ගැන තමයි සැලකිලිමත් වෙන්නෙ.

මා දිහා බලලා රසවිඳින්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක් - ගින්දරී ආයෙමත් එනවෝ

● ඔබේ චිත්‍රපටයක් තිරගත වෙන්නේ දිගු කාලෙකට පස්සේ නේද?

ඇත්තටම මේ පසුගිය කාලයේ ඇතිවුණ කොවිඩ් වසංගතය තමයි ඒකට මූලිකම හේතුව. අවුරුදු ගණනකට පස්සේ තමයි චිත්‍රපටයක් එළියට එන්නේ.

● ටිකිරි රෙද්ද හැට්ටේ ඇඳලා පාරේ යනකොට හරි අපූරු දේවල් වෙන්න ඇති නේද?

චිත්‍රපටයේ ගීතය රූගත කරනකොට මට යන්න තියෙනවා පාර දිගේ. මම ඒ වෙලාවේ දැනගෙන හිටියේ නැහැ කැමරාව කොහේද තියෙන්නේවත් කියලාවත්. මට මඟපෙන්වනවා පාර දිගේ ඇවිදගෙන ගිහිල්ලා පාර හරහා මාරුවෙන්න කියලා. ඉතිං මාව වෑන් එකෙන් බස්සපු හැටියෙම මම දන්නෙත් නැහැනේ කැමරාව කොහෙද කියලා. මම ඇවිදගෙන ඇවිදගෙන ආවා. මිනිස්සු බලනවා මේ මොකද පිස්සුද කියලා. මේ වගේ ඇඳුමක් ඇඳගෙන පාරේ හිනාවෙවී යන එක සාමාන්‍ය දෙයක් නෙමෙයිනේ. ඒ වෙලාවේ පොඩි අපහසුතාවක් දැනුණා බහුබූතයෝ රූගත කරනකොට. හැබැයි ගින්දරී කරනකොට මිනිස්සු දන්නවා මේ චරිතය කවුද කියලා. ගින්දරී 2, 3 රූගත කරන කොට ඇත්තටම මට තිබිච්ච ලැජ්ජාව දැනුණේ නැහැ. මොකද මමත් දන්නවා මේ චරිතය ගැන මිනිස්සුන්ට අවබෝධයක් තියෙනවා කියලා. හැබැයි මට මතකයි ගොඩක් වෙලාවට වාහන එහෙම හැප්පුනා. මොකද්ද මේ කියලා බලන්න ගිහිල්ලා වාහන හප්ප ගත්ත අවස්ථා ගොඩක් තියෙනවා.

● ගින්දරී 4 කළොත් පබෝධා රඟපාන අදහසක ඉන්නවාද?

මෙහෙමයි. ඒක උදය අයියා තමයි තීරණය කරන්න ඕනෑ. ඒ කාලෙ වෙනකොට මාව ඒ චිත්‍රපටයට පාවිච්චි කරන්න පුළුවන් විදිහට මගේ රූපය තිබුණොත් අනිවාර්යයෙන් ම බොහොම කැමැත්තෙන් සම්බන්ධ වෙනවා.

● පබෝධා වැඩිය පෙනෙන්නේ නැති චරිතයක් වෙලා?

මට ගැළපෙන චරිතයක් හමුබ වුණේ නැතිනම් මම ගොඩක් වෙලාවට වැඩ ප්‍රතික්‍ෂේප කරනවා. ගැලපෙන කැමති තිර පිටපතක් හම්බවුණොත් විතරයි රංගනයෙන් දායක වෙන්නේ. ඉතිං ඒ හින්ද තමයි වැඩිය පේන්න නැත්තේ. පසුගිය දවස්වල ආපු ගොඩක් වැඩවලට බැහැ කියන්න සිද්ධ වුණා.

මා දිහා බලලා රසවිඳින්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක් - ගින්දරී ආයෙමත් එනවෝ

● මේ දිනවල ඔබ රංගනයෙන් දායක වුණු රුහිරේ චිත්‍රපටයත් තිරගත වෙනවා.

රුහිරේ හොරප් ත්‍රිලර් චිත්‍රපටයක්. ගජමෑන් චිත්‍රපටයේ දැක්කොත් පද්මාවතී චරිතයට හඬ කවන්නෙත් මම. ඒ වගේම සරත් වීරසේකර මහත්මයගේ ශ්‍රී සිද්ධා චිත්‍රපටයත් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. රුහිරේ චිත්‍රපටයට මේ දිනවල හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

● පුතා ගින්දරී බලන්න ආසා නැතිද?

පුතා ආසයි මොකද පොඩි එක්කෙනෙක් ඉන්නවානේ. පළමුවැනිදා චිත්‍රපටය බලන්න ආසාවෙන් ඉන්නේ.

● ‘ටිකිරි’ පබෝධගේ සිනමා ජීවිතයට මොනවගේ වෙනසක්ද ඇති කළේ.

සිනමාව ඇතුලේ මෙච්චර කාලයක් මාව රඳවලා තියාගන්න පුළුවන් වුණේ ටිකිරිගේ චරිතය හින්ද තමයි. මම රංගන ශිල්පිනියක් විදිහට සනිටුහන් වෙන්න ඒක හොඳ සලකුණක් වුණා. මොකද ලංකාවේ ලොකුම වාණිජ චිත්‍රපට හැදෙන්නේ නැහැනේ.

● රංගන ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්

ඇත්තටම සතුටුයි. මොකද ලංකාව වගේ ප්‍රශ්න ඇති වෙච්ච රටක මේ තරම් දුරට හරි සිනමාව ඇතුළේ යම් දෙයක් කරගන්න පුළුවන්වීම සහ මුල් කාලයේ මට ගොඩක් දක්‍ෂ අධ්‍යක්‍ෂවරුන් සමඟ වැඩකරන්න ලැබීමත් සතුටක්. ලෙස්ටර් ජේම්ස් පීරිස්, ටයිටස් තොටවත්ත, වසන්ත ඔබේසේකර, ජයන්ත චන්‍ද්‍රසිරි, උදයකාන්ත වර්ණසූරිය වගේ දැවැන්තයන් යටතේ මට වැඩ කරන්න හම්බවුණා. ඇත්තටම මම හිතනවා මම හරිම වාසනාවන්තයි කියලා.

● එදා තිබෙන ජනප්‍රියත්වය අද තිබෙනවාද?

ඇත්තටම මේ ගමන ගොඩක් මහන්සියෙන් ආපු ගමනක්. එක රැයින් හම්බවුණු දේවල් කිසිවක් නැහැ. අද වෙනකොට මාව ගොඩක් දෙනෙක් අඳුරනවා.

මා දිහා බලලා රසවිඳින්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක් - ගින්දරී ආයෙමත් එනවෝ

● ඇයි මේ නිහඬවෙලා ඉන්නේ?

අපිට ප්‍රොඩියුස් කරලා ඩිරෙක්ට් කරන්න බැහැ. නමුත් ඉතිං මට හරියන චරිතයක් ලැබෙනකම් මම ඉන්නවා. ඒක හැංගිලා ඉන්නවා නෙමෙයි. මම පුංචි කාලේ ඉඳලා අරගෙන ආපු විදිහක් තියෙනවා. ඒ වගේම ක්‍ෂේත්‍රයේ හිටපු විදිහක් තියෙනවා. මම ඉස්සරත් මෙහෙම තමයි හිටියේ. දැනුත් ඒ හිටපු විදිහටම තමයි ඉන්නේ.

● සකර්ම ගැන කතා කළොත්?

මම අන්න ඒ වගේ අවස්ථාවක් ලැබෙනකම් තමයි ඉන්නේ. එහෙම නැතිව මම හැංගිලා මොනවත් නෙමෙයි. සකර්ම හි මගේ චරිතයට මම පුදුමාකාර විදිහට ඇලුම් කළා. මට ඕනෑ එහෙම කරන්න. තවමත් මට මේක වෘත්තියක් විදිහට යන්න අපහසුතාවක් තියෙනවා. ඒක මගේ දුර්වලතාවයක් වෙන්න පුළුවන්. තවමත් මේ රඟපෑම කියන එක මම රස්සාව විදිහට භාරගන්න පුදුමාකාර විදිහට අමාරුකමක් තියෙනවා. මට කරන්න බැහැ කියල හිතුණොත් මට කරන්නේ නැහැ. මට ආස නම් විතරයි මම ගොඩක් වෙලාවට නිර්මාණයක් භාරගන්නේ. මට විඳින්න පුළුවන් නම් විතරයි නිර්මාණයකට දායක වෙන්නේ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment