මා දූව, සත පහ දූව පසුකර…

255

මාදු ගඟේ කුරුඳු තලන ගම්මිරිස් වත්තට

“ගන්තෙර” සෆාරියේ මාදු ගඟ චාරිකාව

මා දූව, සත පහ දූව පසුකර…

මේ දිනවල අපගේ “සංචාරේ” සිදුවන්නේ බලපිටිය මාදු ගඟ ඔස්සේය. ශ්‍රී ලංකාවේ අතිශය සෞන්දර්යාත්මක හා අද්විතීය පාරිසරික නිකේතනයක් වන මාදු ගඟ, දෙස්-විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් තෝතැන්නකි. අතීතයේ පටන් පාරම්පරික ධීවරයාගේ නිජබිමක් ලෙසද සැලකෙන මාදු ගඟ, වෙනම ලෝකයක් යැයි හිතෙන තරමට හුදෙකලා වූ සංකීර්ණ තෙත්බිම් පරිසර කලාපයකි. ලොකු කුඩා දූපත් 64 කින් සමන්විත මාදු ගංගා තෙත්බිම තුළ මෙම දූපත්වලටම ආවේණික ජීවන රටාවක් පවතින අතර, මෙහි පවතින බොහෝ දූපත් අතීතයේද, වර්තමානයේද සින්නක්කරයෙන්ම හිමිකරගෙන සිටින්නෝ ධනවත් ව්‍යාපාරිකයින්ය. එසේම, මා දූව වැනි දූපත් ගම්මාන ලෙස ජනාකීර්ණ වී ඇත. ඇතැම් දූපත් තනිකරම කඩොල් ගාල්වලින් වැසී පවතී. තවත් දූපත් තුළ වෙහෙර, විහාර, හෝටල්, ගොඩනැගිලි යනාදියය.

ඇතැම් දූපත් තුළ කුරුඳු වගාවන් පවතින අතර, තවමත් ඒ මගින් යහමින් කුරුඳු අස්වනු නෙලා ගනිති. තවත් සමහර දූපත් තුළ පවතින ඉඩම් පාරම්පරිකවම කිහිප දෙනකුටම අයත්වන අතර, ඒ ඇතැමෙකු විසින් කරනු ලබන කුරුඳු වගාව, කුරුඳු තැලීම සහ අස්වනු සැකසීම මාදු ගඟේ සංචාරයකට යන අයට නරඹන්නටද හැකිය. එසේම, කුරුඳු තේ එකක රස විඳ, කුරුඳු පොතු සහ කුරුඳු තෙල් මිලදී ගැනීමටද අවස්ථාවක් මෙහි යන සංචාරකයන්ට උදාවේ. මාදු ගඟේ සංචාරයට එක්වූ අපටද මෙවන් නැවුම් වූ අත්දැකීම් විඳගන්නට හැකිවූ බව අපි ඔබට මතක් කරදෙන්නෙමු.

මාදු ගඟේ යන බෝට්ටු සංචාරය අපට සැලසුම් කර දුන්නේ බලපිටිය දුම්රිය ස්ථානය අසළින් මාදු ගඟට පිවිසෙන පටු මාර්ගයේ කෙලවර පිහිටි “ගන්තෙර බෝට් සෆාරි ඇන්ඩ් රෙස්ටෝරන්ට්” නමින් තම බෝට්ටු සේවාව සහ මාදු ගඟේ සංචාරයට එන සංචාරකයන් සඳහා “කේටරින් සර්විස්” එකක්ද සිදුකරන “සමන්” අයියා නොහොත්, සමන් අබේසේකර විසිනි.

කොයිතරම් බෝට්ටු සේවා මාදු ගඟේ පවත්වාගෙන ගියත්, සමන් අබේසේකරගේ මාදු ගඟ බෝට්ටු සේවයේ අනිත් සේවාවන්ට වඩා වෙනස් දෙයක් ඇති නිසා එය සංචාරකයන්ට නවමු අත්දැකීමක් ලබාදේ. එනම්, බොහෝ බෝට්ටු සේවා සිදුකරන්නේ පැමිණෙන සංචාරකයන් මාදු ගඟේ ප්‍රසිද්ධ තැන් කිහිපයකට කැඳවාගෙන ගොස්, ඉක්මණින්ම සංචාරය නිමාකර තවත් සංචාරක නඩයක් බෝට්ටුවට නංවාගෙන දවසේ ගතමනාව වැඩිකර ගැනීමටය. ඒ හරියට යාල ජීප් සෆාරියක් යන පරිදිමය. නමුත්, සමන්ගේ බෝට්ටු සේවාවේ විශේෂත්වය වන්නේ මාදු ගඟට එන සංචාරකයන්ට සම්පූර්ණ බෝට්ටු සංචාරයක් ලබාදීම සහ අවශ්‍යනම් ඔහුගේ “ගන්තෙර” බෝට්ටු අංගනයේදීම බලපිටියට ආවේණික ගමේ ආරට අංග සම්පූර්ණ දිවා ආහාර වේලක්ද භුක්ති විඳීමට අවස්ථාව ලබාදීමය.

එනම්, වර්ග කිලෝමීටර් 30-40ක් පමණ වන අතු බෙදී ගිය සම්පූර්ණ මාදු ගඟ තෙත්බිමේ කෙළවර කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ “පොල්අතුපළාත” දක්වා දිව යන අතර, මාදු ගඟේ ආරම්භක දිය දහරා පවතින්නේ එම “පොල්අතුකන්ද” ආශ්‍රිතව බව කියනු ලැබේ. මෙම ප්‍රදේශයෙන් ආරම්භවන කුඩා කුඩා දිය දහරවල් අනතුරුව කුඩා ඇළ මාර්ග බවට පත්වී ඉන් අනතුරුව ලොකු ඇළවල් බවට පත්ව, සුවිසල් වැවක් මෙන් ස්වභාවික විල්ලුවක් බවට අනතුරුව මාදු ගඟ පත්වේ. සැබවින්ම මාදු ගඟ යයි කීවාට මෙම තෙත්බිම සුවිසල් විල්ලුවකි.

මාදු ගඟ පෝෂණය ලබන ඇළ මාර්ගවල ඔරුවක්, බෝට්ටුවක් ගමන් කළ හැකි අවසානය දක්වාම බෝට්ටු සේවය ලබාදී මාදු ගඟ පිළිබඳව අධ්‍යාපනික හා සෞන්දර්යාත්මක චාරිකාවක් ලබාදෙන්නට සමන් ගේ “ගන්තෙර” සෆාරි බෝට්ටු සේවය සැදී පැහැදී සිටී. එම නිසා අධ්‍යාපනය ලබන දරුවන්ට, පරිසරය පිළිබඳව, කඩොලාන ශාක පිළිබඳව, කුරුල්ලන් පිළිබඳව, මාදු ගඟේ ජෛව විවිධත්වය ගැන, අධ්‍යයනයේ යෙදෙන්නන්ට මෙන්ම වයිල්ඩ් ලයිෆ් හා පාරිසරික ඡායාරූපකරණයේ යෙදෙන අයට සමන්ගේ “ගන්තෙර” බෝට්ටු සෆාරිය තරම් තවත් ගැලපෙන බෝට්ටු සෆාරියක් මාදු ගඟේ නැත.

එසේම, ඔහු විසින් ලබාදෙන “කිරල වෙල්කම් ඩි්‍රන්ක්” එකේ සිට පන් වට්ටියේ, නෙළුම් කොළයේ, කෙසෙල් කොළයේ බහා පිළිගන්වන කැරන් කොකු ව්‍යංජනය, මාදු ගඟටම ආවේණික “සී ෆුඩ්” විශේෂ මෙනුවේ දිවා ආහාරයද මාදු ගඟේ වෙන කොහේදී හෝ ලබාගන්නට නොහැකි සේවාවන් අතර වේ. ඔහුටම ආවේණික පැෂන් ෆ්රුට් මිශ්‍ර යෝගට් අතුරු පසද හරිම අපූරුය. මේ සියල්ල සඳහා ඉතා හොඳ පැකේජ කිහිපයක්ම සමන්ගෙන් සංචාරක ඔබට ලබාගත හැකිය. මාදු ගඟේ සංචාර සඳහා වැදගත්වන ඔහුගේ වට්සැප් දුරකථන අංකය පහත කහපාට තීරුවේ දක්වා ඇත.

මෙවන් විශේෂතා විඳිමින්, විශේෂයෙන්ම සමන්ගේ අම්මා අතින් අපට හදා දුන්, දිවුල් බීමට සමාන රසවත් “කිරල” වෙල්කම් බීම එක රසවිඳ අපි බෝට්ටු සංචාරයට එක්වූයේ සමන් අපට ලබාදෙන පැය 4 ක මාදු ගඟේ විශේෂ බෝට්ටු සවාරියට එක්වෙමිනි. මේ අනුව “පොල්අතු පළාතේ” පිහිටි මාදු ගඟේ ආරම්භක දිය දහරා නොහොත්, මාදු ගඟේ ආරම්භය සොයා ගඟේ ඉහත්තාවට පළමුව ගමන් ගත් අපි මීළඟට එහි පවතින ඉතා පටු ඇළ මාර්ග ඔස්සේ ගමන් කරමින් කුරුල්ලන් නරඹමින් සහ කැරන්කොකු, අනෙකුත් මීවන, කඩොලාන ඇතුළු වෙනත් ජලජ පැලෑටිවල පහස අත්විඳිමින් “මංජු” ගේ අත්දැකීම් අනුව පදවන ලද බෝට්ටුවෙන් යළිත් මාදු ගඟට පිවිසුණේ කඩොලානවලින් සැදුනු අඳුරු ගුහා තුළින් වැටී ඇති පටු දිය මංපෙත් ඔස්සේ පැමිණෙමින් අපූරු අත්දැකීමක් විඳගැනීමෙනි. එවන් අත්දැකීම් සංචාරකයින්ට ලබාදෙන්නට “මංජු” ඉතා පළපුරුදු බෝට්ටු පදවන්නකු වේ. මාදු ගඟේ අස්සක් මුල්ලක් නෑර දන්නා මංජු, මාදු ගඟේ ආරම්භක සංචාරක බෝට්ටු පදවන්නන් අතර සිටි චෛතයකි. ඒ අනුව “ගන්තෙර” බෝට්ටු සේවාව සමග එක්ව කටයුතු කරන මංජුගේ සේවය ලබාගෙන මීළඟට අප ගමන් ගත්තේ කුරුඳු වගාව, තැලීම හා සැකසීම සිදුකරනු ලබන මාදු ගඟේ දූපතකට ගොඩවීම සඳහාය.

කුරුඳු දූව ලෙස හා “ගම්මිරිස් වත්ත” නමින් හඳුන්වන මෙම දූව, අක්කර 10 ක් තරමේ විශාලත්වයකින් යුක්ත වූවකි. 6 දෙනකුට පමණ පිරිසකට සින්නක්කර අයිතිය ඇති මෙහි, වර්තමානයේ කුඩා කටු මැටි නිවසක් තනාගෙන, කුරුඳු වගාවක්ද කරමින්, එහි යන – එන අයට තමන් විසින්ම තලා, වියළා සකස් කරන කුරුඳු පොතු පැකට්ටුවක්, කරුඳු තෙල් කුප්පියක් විකුණා දිවිය ගැටගහ ගන්නා එක් මාදු ගඟ වැසියකු පමණක් ජීවත් වේ. ඔහු නමින් ප්‍රේමදාසය.

මා දූව, සත පහ දූව පසුකර…

අප මේ දූපතට යන විටත් තවත් දේශීය සංචාරකයන් කණ්ඩායම් දෙකක් පැමිණ කුරුඳු තේ රස බලමින් සිටියහ. ඔවුන්ගේ කටයුතුවලට ඉඩ ලබාදෙමින් දූපතේ අසිරිය විඳගත් අපිද අනතුරුව නොමිලයේම ලැබෙන කුරුඳු තේ එකක් රස විඳ, ප්‍රේමදාසගෙන් කුරුඳු පොතු හා කුරුඳු තෙල්ද මිලදී ගත්තෙමු. මෙසේ කුරුඳු දූපතට යන සියල්ලන්ටම කුරුඳු තලන අයුරුත්, කුරුඳු පොතු ගසෙන් වෙන්කරගෙන පවනේ වේලාගෙන නිමි කුරුඳු හදන හැටිත් හරි අපූරුවට උගෙන ගත හැකිය.

කුරුඳු දූපතෙන් සමුගත් අපි මීළඟට තීන්දු කළේ “කොත් දූව” නමැති ප්‍රකට දූපතට ගොඩබැස කොත් දූව විහාරයටද ගොඩවී අපගේ සංචාරය නිමා කිරීම සඳහාය. චිත්‍රපට හා ටෙලිනාට්‍ය රැසකට පසුබිම් වූ කොත් දූව විහාරය, නිර්මාණය කර ඇත්තේ වැලිතර මහා කප්පින වලව්වේ විසූ දානපති සැම්සන් ද සිල්වා, ආබ්‍රෙව් විජය ගුණරත්න, රාජපක්ෂ වාසළ මහ මුදලිවරයා විසිනි. ඒ ගැන කතාව සහ කොත් දූවේ අසිරිය විඳින්නට සමන් ගේ “ගන්තෙර” බෝට්ටු සෆාරියෙන් ගිය ගමන මීළඟට කියවමු.

සැරිසර –
ජගත් කණහැරආරච්චි
තෙවැනි ඇස –
රවී ද සිල්වා
“සංචාරේ” අනුග්‍රහය – ගංතෙර” – බෝට්ටු සේවය

advertistmentadvertistment
advertistmentadvertistment