මා පෙනී සිටියේ ජනතාවට සහන දෙන්න- අත ඔසවන්න පෙර යළිත් සිතන්න- ජනක රත්නායක මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

276

මහජනතාවගේ විදුලි බිල අධික ලෙස වැඩි කිරීමට එරෙහිව කටයුතු කිරීම වරදක් ලෙස දකිමින් සභාපති ධුරයෙන් තමන් ඉවත් කිරීමට හෙට (24 දා) මැති සබයට ගෙනෙන යෝජනාවට පාර්ලිමේන්තුවේදී අත එසවීමට පෙර වරක් දෙවරක් නොව කිහිප අවස්ථාවක් සිතා බලන ලෙස මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

තමාට එරෙහිව චෝදනා එල්ල කර ඇති චෝදනා වසර 15 කට පෙර එල්ලවී තිබූ චෝදනාම බවත් එම චෝදනාවලින් තමන් වැරදිකරු බවට පත්වී නැති බවත් ඒ මහතා කීය.

තමන්ට එරෙහිව චෝදනා කරමින් හෙට පාර්ලිමේන්තුවේදී පවත්වන විවාදය දැකබලා ගැනීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස කථානායකවාරයාගෙන්, පාර්ලිමේන්තු මහ ලේකම්ගෙන් සහ වෙත්‍රධාරීවරයාගෙන් ඉල්ලා සිටි බව ද රත්නායක මහතා කීය. තමාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා විසින් මේ දිනවල මහජන ගැලරිය වසා ඇති නිසා විවාදය නැරඹීමට අවස්ථාවක් ලබාදීම අපහසු බව ප්‍රකාශ කළ බවත් විවාදය පැවැත්වෙන අවස්ථාවේ ජනක රත්නායක මහතා එම ස්ථානයේ සිටීම නුසුදුසු බව වේත්‍රධාරීවරයා ප්‍රකාශ කළ බවත් රත්නායක මහතා කීය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ලෙස තමා පෙනී සිටියේ මහජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළක් සඳහා බවත් එවැනි වැඩපිළිවෙළකට මහජනතාව වෙනුවෙන්ම කතා කිරීමට පත්කර සිටින මහජන නියෝජිතයන් විරුද්ධ වනවා නම් ඒ ගැන ජනතාවට බලා සිටිය හැකි බවත් ඒ මහතා කීය.

විධායක ජනාධිපති ක්‍රමය ඇති කළ ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් 1977 ව්‍යවස්ථාව සකස් කරමින් මේ ව්‍යවස්ථාවෙන් නොහැකි ගැහැනියෙක් පිරිමියෙක් කරන්නත්, පිරිමියෙක් ගැහැනියෙක් කරන්නත් පමණක් බවට ප්‍රකාශ කර තිබුණත් එම ප්‍රකාශ ද බොරුවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පැවසූ හෙතෙම තමා වැනි ස්වාධීන කොමිසමක සභාපතිවරයකු සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගතහොත් එය අනෙකුත් ස්වාධීන කොමිෂන් සඳහා ද බලපානු ඇති බවත් වැඩිදුරටත් කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment