මා සමග තරඟයට වැඩකරන්න පුළුවන් කෙනෙකුට එන්න කියලා අභියෝග කරනවා!

94

සමගි ජන බලවේගයට බලය ලැබෙන සෑම පළාත් පාලන ආයතනයක්ම නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඉදිරියේදී ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදී ඒ සඳහා දිවුරුම් ප්‍රකාශයක් හරහා සියලු‍ දෙනාගේ අත්සන් ලබාගන්නා බවත් එම ආචාර ධර්ම පද්ධතිය කඩකරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුරය අහිමි වන බවත් සමගි ජනබලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (16) පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ ජනහමුවක් අමතමින් පැවසීය.

මේ අතර තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කොන්ත්‍රාත් කිරීම තහනම් කරන බවත් විනීත හා ශිෂ්ඨ සම්පන්න මන්ත්‍රීවරු සිටිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ මධ්‍යම ආණ්ඩුවේ බලයක් තිබුණත් නැතත් තමාගේ නිර්මාණශීලී වැඩපිළිවෙළ හරහා සියලු‍ දේ සිදු කරන බවත් කීය.

එහිදී වැඩිදුරටත් ජනහමුව ඇමතූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

මම මේ කියන දේ අනිවාර්යයන්ම මේ මහ පොළොවේ ක්‍රියාත්මක කරනවා. එකේ කතා දෙකක් නෑ. කරනවා කිව්වොත් කරන එක කරනවා. මගේ දේශපාලනේ කයිවාරුව අඩුයි. වැඩ වැඩියි. මගේ දේශපාලනේ චරිත ඝාතනය නෑ. පුද්ගල විවේචනය නෑ. හැබැයි මම වැඩ කිරීමට ආසයි. මම ඇත්තටම ආසයි තරගයට වැඩ කිරීමට. ඕනෑම දේශපාලඥයෙකුට මා සමග බලයක් නැතිව තරගයට වැඩ කිරීමට පුළුවන්ද කියල බලන්න එන ලෙසට මම අභියෝග කරනවා. ඒ අයට පැත්ත පළාතකට එන්න බෑ. මවිල් ගහක් තරම්වත් වැඩක් කරන්න බෑ.

විදේශීය පළාත් පාලන ආයතයත් සමග බද්ධ වී ඒවායින් සම්පත් ලබා ගැනීමේ වැඩසටහනක ක්‍රියාත්මක කකරනවා. මම දැනටමත් ලෝකයේ විවිධ රටවල්වල පළාත් පාලන ආයතන සමග මේ පිළිබඳව සාකච්ජා කර ගෙන යනවා. ඒ තුළින් පදවි ශ්‍රී පුර පළාත් පාලන ආයතනයත් ශක්තිමත් වෙනව.

ආචාර ධර්ම පද්ධතියක් තුළින් මන්ත්‍රීවරුන්ට අනිවාර්යයෙන්ම කොන්ත්‍රාත් කිරීම තහනම් කිරීම මගින් ශිෂ්ට සම්පන්න සභාවක් බිහි වෙනව. කොන්ත්‍රාත් කිරීමට අවශ්‍ය නම් යන්න වෙනත් පක්ෂවලට. මන්ත්‍රී කියල කියන්නෙ හම්බ කර ගැනීමට හැකි තනතුරක් නොවෙයි. මේක පළාත් පාලන ආයතනයට පමණක් නොවෙයි පළාත් සභාවටත් පාර්ලිමේන්තුවටත් ජනාධිපති තනතුරටත් අදාළයි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment