මැංගුස් සටන ගැටුමක් වී තිස්ස ක්‍රිකට් උපනායකයාට පහර දුන් සිසුන් අල්ලන්න සීසීටීවී ඔස්සේ විමර්ශන

100

කළුතර තිස්ස මහා විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයාගේ හිසට ක්‍රිකට් පිත්තකින් පහර දී බරපතළ තුවාල සිදුකළ සැකකාර ශිෂ්‍යයන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබූ හිරුෂ නෙත්සර සිල්වා නමැති ශිෂ්‍යයා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

ක්‍රිකට් තරගයෙන් පසුව ඇතිවූ ගැටුමේ වීඩියෝ දර්ශන සියල්ල මේ වන විට ලබාගෙන ඇති බවත් ඒ ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක කරන බවත් පොලිසිය පවසයි.

කළුතර තිස්ස විද්‍යාලය සහ කළුතර මහා විද්‍යාලය අතර ඉකුත් ඉරිදා (30 වැනිදා) පැවති මැංගුස් සටන ක්‍රිකට් තරගයෙන් කළුතර මහා විද්‍යාලය ජයග්‍රහණය කිරීමෙන් පසු ක්‍රීඩාපිටියට පැමිණි පාසල් දෙකේම ශිෂ්‍යයන් පිරිසක් ගැටුමක් ඇතිකර ගෙන තිබිණි.

පොලිසිය පවසන්නේ මෙම තරගයට භාවිත කළ විකට් පොලු බෙදා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුල ගැටුමක් දක්වා දුරදිග ගිය බවයි.

මෙහිදී ඇති වූ තත්ත්වය පොලිසිය විසින් පාලනය කර කලහකාරී සිසුන් ක්‍රීඩාංගණයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදි.

මේ අතර පෙරේදා (01 දා) පෙරවරුවේ පයාගල පොලිසිය වෙත පැමිණි මවක ශිෂ්‍යයන් පිරිසක් තම පුත්‍රයාට ක්‍රීඩාංගණයේදී පහර දුන් බවත් ඔහු මේ වන විට බරපතළ තත්ත්වයෙන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවටත් පැමිණිලි කර ඇත.

පොලිසිය විමර්ශන ආරම්භ කරන්නේ එම පැමිණිල්ලෙන් පසුවය. කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත පයාගල පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment