මැක්කා

803

ජීවන වියදම මේ තරමට ඉහළ ගිය තවත් කාලයක් තිබිණිද? වසංගතයක් විසින් රට ගිලගනු ලැබ, ජනතාව අතේ සතේ නැතිව සිටින යුගයක, ජීවන වියදම මේ තරමට ඉහළ ගියාම දැනෙන සනීපය කෙසේද? අද අපි රටේ සාම්ප‍්‍රදායික වස්තු බීජය බවට පත්ව ඇති කොවිඞ් 19 ගැන නොලියා ජීවන වියදම ගැන ලියන්නට කල්පනා කළෙමු. රුපියල් 130 ට සුදු සීනි කිලෝවක් නිකුත් කිරීමට රජය හීන දැක්කත් රුපියල් 220 සුදු සීනිවලින් මෙහා හීනයක් අපට නම් නොපෙනේ. රුපියල් 945 ට මිලට ගත් කිරි පිටි කිලෝව රුපියල් 1945 ටවත් ලබාගත නොහැක. සහල් මිල ගැන කතා කිරීමෙන් අපි වැළකී සිටිමු. එහෙත් එළවළු මිල ගැන මදක් කතා කරමු. ලොකු ලූනු මිලත් අර්තාපල් මිලත් ඉතා වේගයෙන් ඉහළ නගී. පලා මිටියකුත් රුපියල් 50 කි. හිරමනයට දැමීමට නොහැකි තරම් කුඩා පොල් රුපියල් 60 කි. හිරමනයට දැමිය හැකි පොල් රුපියල් 100 කි. ලබන සතියේ සිට පොල් තෙල් බෝතලය රුපියල් 400 දෙන්නෙමුයි රජය පොරොන්දු වුවද පොල් තෙල් මිල බෝතලය රුපියල් 500 ට අඩු වන්නේම නැත. ආණ්ඩුව කියන මිලට පොල් තෙල් ලබා ගැනීමට නම් පොල් ගස් වවා ගෙඩි කඩා තෙල් හිඳ ගත යුතුය. මේ සියල්ලටම හේතුව කොරෝනා ලෙස සලකා අපි හිත හදා ගන්නෙමු. එහෙත් එසේ කොතෙක් කලක් හිත සනසා ගන්නද? තවත් කුඩා සාම්ප‍්‍රදායික කතාවක් කියමු. මැක්කන් ගැන කතා කිරීමට සහ මැක්කන් ගැනම ලිවීමට අපමණ ප‍්‍රිය කරන කුඩා ශිෂ්‍යයෙක් සිටියේලූ. මේකා කවර රචනාවක් ලිව්වද එය මැක්කා දෙසට හරවා එතැන් සිට මැක්කා ගැන ලියන්නට පටන් ගනී. මේ ආකාරයෙන්ම මාළුවකු ගැන රචනාවක් ලිවීමට කී විට මේ පුංචි දරුවා මාළුවන්ගේ කොරපොතු අතර මැක්කන් සිටීමට ඉඩ ඇති බව පවසා මැක්කා ගැන දිගින් දිගටම ලියා රචනාව නිම කළේලූ. එය එසේ වන්නේ යම් සේද කුමක් ගැන ලියන්නට පටන් ගත්තත් අපට කොවිඞ් 19 මග හැරීමට නොහැක.

 කොවිඞ් එන්නතෙන් ලබාදෙන ප‍්‍රතිශක්තිය අභිභවා යා හැකි නව කොවිඞ් වෛරස ප‍්‍රභේදයක් දකුණු අප‍්‍රිකාවෙන් හඳුනාගෙන ඇතැයි දැනගන්නට තිබේ. මෙම නව කොවිඞ් ප‍්‍රභේදය C.1.2 යනුවෙන් හැඳින්වේ. මීට කලින් තිබූ C.1 නමැති ප‍්‍රභේදයේ විකෘතියක් ලෙස මෙය හඳුනාගනු ලැබ ඇත. මෙයට අවුරුද්දයි මාස අටකට පමණ පෙර චීනයේ වූහාන් නුවරින් මතු වූ ආරම්භක කොවිඞ් වෛරසයේ දරුණුම විකෘතිය මෙයලූ. මෙහි වැදගත්ම ගැටලූව වන්නේ දැනට තිබෙන කිසිදු එන්නතකට මෙය වලංගු නොවීමය. කොවිඞ් වෛරසය මේ ආකාරයෙන් පැතිර යද්දී වැක්සිනය එන්නත් කරගැනීම ප‍්‍රතික්ෂේප කරන පිරිසක් ද වෙති. ඔවුන්ගෙන් සමහර දෙනා විවිධ ආගමික කල්ලිවලට අයත්ය. මේ රටේ ජීවත්වන ඇතැම් මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ විශ්වාසයට අනුව විවිධ මන්තරවලින් රෝග සුව කළ හැකිය. වෛරස් හා පේ‍්‍රත දෝෂ එක සමාන බව තව සමහරුන්ගේ මතයයි. එයට හේතුව මේ දෙකම පියවි ඇසට නොපෙනීමය. එහෙත් අන්වීක්ෂයකින් බැලූ කල වෛරසයක් දැකබලා ගත හැකි නමුදු කිසිදු කන්නාඩියකින් බලා පෙරේතයන් දැකිය නොහැක. පෙරේතයින් දැකීමට නම් ස්ථිර වශයෙන්ම මොළයේ ෙසෙලවල සහ ස්නායුවල විකාර තත්ත්වයක් ඇති විය යුතුමය. හැබැයි ඒ විකාර තත්ත්වය පියවි ඇසින් දැකබලා තක්සේරු කිරීමට වෛද්‍යවරුන්ට පුළුවන. කොරෝනා වැක්සිනය ගැනීමෙන් පසළොස් අවුරුද්දකට පසු දෙපා කොරවන බව කියූ මෝඩයෙක් අපට හමුවිය. කොරෝනා වැක්සිනය ගැනීම තරයේ ප‍්‍රතික්ෂේප කළ ඔහුට මීට දෙසතියකට පෙර රෝගය වැලඳුනු අතර ඔහු එයින් මළේය. මෙහිදී අප කල්පනා කළ යුත්තේ වඩා හොඳ වන්නේ වැක්සිනය ගෙන පසළොස් අවුරුද්දකින් කොර වීම ද නොඑසේ නම් වැක්සිනය නොගෙන සතියකින් මිය යාම ද යන කාරණය ය. කොරෝනාව මෙරට පැතිර ගිය මුල් යුගයේදී ආධ්‍යාත්මික බලවේග ගැන ඉහළින්ම විශ්වාස කළ පොලිස් සාජන් මහතෙක් තෙල් වර්ගයක් මතුරා රෝහලකට පැන ඒවා කොවිඞ් රෝගීන්ගේ හිසේ ගෑමට යෑමෙන් විශාල අමාරුවකට පත්විය. අප මිථ්‍යාව සහ සැබෑව අතර සංධිස්ථානයකට පත්ව සිටින්නෙමු. මිථ්‍යාව යනු බෙහෙවින් සංකීර්ණ දෙයකි. එමගින් නොයෙක් දේ මවාගත හැකිය. වෙසෙසින්ම මොළේ අමාරුකාරයකුට ඒ ඔස්සේ මවාගත හැකි දේ බොහෝය. මේ ගැන කුඩා උදාහරණයක් පැරණි ඊජිප්තුවෙන් ගෙන හැර දක්වමු. පාරාවෝ රජ පෙළපතට අයත් නව යොවුන් රජකු වූ ටූටන් කාමන් එක පවුලේ අයියා සහ නංගි අතර ඇතිවූ විවාහයක ප‍්‍රතිපලයකි. (මෙය ඊජිප්තුවේ පැරණි විවාහ සම්ප‍්‍රදායකි.) ජීව විද්‍යාත්මක වශයෙන් අසම්මත වූ ඒ විවාහය නිසා ටූටන් කාමන් ට ළමා වියේ සිටම අපස්මාරය වැලඳිණ. මිසරයේ පිරමීඩ හදනවිට එම ඉදිකිරීම් කර්මාන්තය නැරඹීමට යෑමේ පුරුද්දක් මිසර රජවරුන්ට තිබිණ. ඔවුන් මේ ගමන යන්නේ ගිනි ගහන කට්ට අව්වේ වැලි කතර දිගේය. අව්වට ඔළුව රත්වන විට අපස්මාර රෝගියාගේ මොළය විකල් වීමට පටන් ගනී. එවිට ඔහුට විවිධ වර්ණ ද විවිධ රූප ද දර්ශනය වෙයි. ඒ සියල්ලම මනෝ මූල දේවල් වෙති. ගිනි අව්ව නිසා මොළේ විකල් වූ ටූටන් කාමන් තමාට විවිධ වර්ණ සහ පිංතූර පෙනෙන බව කීමට පටන්ගත් අතර ඔහු වටා සිටි ජනතාව කල්පනා කළේ රජතුමාට දෙවියන් දර්ශනය වීමට පටන්ගෙන ඇති බවය. මිථ්‍යා අදහස් නිසා ටූටන් කාමන් පමණක් නොව ඔහුගේ ජනතාව ද විශාල ලණුවක් ගිල්ලේය. මාරාන්තික කොවිඞ් 19 සම්බන්ධයෙන් අපේ රටේ ජනයා මෙවැනි ලණු නොගිලිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment