මැණික් රට යවා ඩොලර් බිලියනයක් හොයනවා – සභාපති තිලක් වීරසිංහ

399

රට විදේශ විනිමය අර්බුදයක බරපතළ ලෙස පැටලී ඇති මොහොතක එය නිරාකරණය කරගැනීම සඳහා සැලකියයුතු දායකත්වයක් ලබා දිය හැකි ආයතනයක් ලෙස ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නම් කළ හැකිය. එබැවින් විදේශීය විනිමය සොයා ගැනීම, ඒ සඳහා ලබා දිය හැකි දායකත්වය ඇතුළු වූ කරුණු කාරණා ගණනාවක් පිළිබඳ විමසීම සඳහා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය” එහි සභාපති තිලක් වීරසිංහ මහතා මුණ ගැසුනෙමු. පහතින් පෙළ ගැසෙන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයකු වන සභාපති තිලක් වීරසිංහ මහතා සමඟ ‘‘ දිවයින ඉරිදා සංග‍්‍රහය” සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය – රට බරපතළ ආර්ථික අර්බුදයකට ලක්ව තිබෙනවා. එය අතරින් විදේශ විනිමය අර්බුදය විශේෂයි. ඔබ සභාපතිත්වය දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මෙම අර්බුදය විසඳීම සඳහා සුවිශාල දායකත්වයක් ලබාදිය හැකි ආයතනයක්. ඒ සඳහා ඔබ මේ වන විට ගෙන ඇති ක‍්‍රියාමාර්ග කෙසේද?

ප‍්‍රශ්නය – අප පසුගිය වසරවලට වඩා මෙම වසරේ ඉහළ අපනයන ආදායමක් ලබාගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා වන සැලසුම් මේ වන විට ක‍්‍රියාත්මකයි. මෙම වසරේ මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් උපයා ගැනීමට අපේක්ෂිත අපනයන ඉලක්කය ඩොලර් බිලියන 1 ක්. ඇත්තටම එය වාර්තාගත ඉලක්කයක්. එම වෙත ළඟා වීමට අපට හැකියාව තිබෙනවා. අපනයන කරුවන් සමඟ කතා කරමින් ඔවුන් දිරි ගන්වමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයමින් වාර්තාගත ඉලක්කයක් සපුරා ගැනීම සඳහා අප කටයුතු කරනවා.

ප‍්‍රශ්නය – සාමාන්‍යයෙන් මේ වන තෙක් ඔබ අධිකාරිය වාර්ෂිකව කෙතරම් අපනයන ආදායම් ලබා ගෙන තිබෙනවාද?

පිළිතුර – සාමාන්‍යයෙන් වසරකට ඩොලර් මිලියන 300 ක පමණ අපනයන ආදායමක් තමයි ලබාගෙන තිබෙන්නේ. සාමාන්‍යයෙන් වසරකට මැණික් පාර්සල් 4800ක් වැනි ප‍්‍රමාණයක් අප අපනයනය කර තිබෙන්නේ. නමුත් මෙම අප පසුගිය වසරේ මැණික් හා ස්වර්ණාභරණ පාසල් දහහතර දහසක් අපනයනය කර තිබෙනවා.

ප‍්‍රශ්නය – ඩොලර් බිලියන 1 ක අපනයන ආදායමක් යනු සැලකිය යුතු වූ විශාල ආදායමක්. එවන් සුවිශාල ඉලක්කයක් වෙත ගමන් කිරීමට හිතන තරම් පහසු වෙන එකක් නැහැ නොවේද?

පිළිතුර – ඇත්තටම ඔව්. එය හිතන තරම් පහසු නැහැ. එයට කරුණු කාරණා ගණනාවක් තිබෙනවා. මෙම කර්මාන්තය තුළ යම් මාෆියාවක් ක‍්‍රියාත්මකයි. එම නිසා රටට හිමිවිය යුතු ආදායම් විශාල ප‍්‍රමාණයක් එමගින් අහිමි වෙනවා. මැණික් අපනයනයේදී හැසිරවීම් නියෝජිතයන් (Handling Agent) අපනයනකරුවන් බිය වද්දමින් විශාල මාෆියාවක් ක‍්‍රියාත්මක කරනවා. එ නිසා නියමිත වටිනාකම මැණික් ගල් සඳහා ලැබෙන්නේ නැහැ. ඒ තුළින් රටට අහිමි වන මුදල විශාලයි. මෙම මාෆියාව අක‍්‍රිය කිරීම සඳහා අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඇත්තටම අපි සියලූ බාධක මැ`ඩගෙන ඩොලර් බිලියන එකේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා වෙහෙසව කටයුතු කරනවා.

ප‍්‍රශ්නය – අපනයනය කරන මැණික් සඳහා ලැබෙන්නේ නිසි වටිනාකම ද?

පිළිතුර – එතන යම් යම් ප‍්‍රශ්න තිබෙනවා. ඇතැම් අපනයනයන් සඳහා ලැබෙන්නේ නියමිත වටිනාකම නොවේ. පසුගිය වසර ගණනාවක් තිස්සේ මැණික් අපනයනය අඩු මුදලකට තමයි සිදුව තිබෙන්නේ. හැසිරීම් නියෝජිතයෝ අපනයනකරුවන් බියවද්දා කටයුතු කරනවා. එහිදී මැණික් සඳහා නිසි මිලක් ලැබෙන්නේ නැහැ. ගොඩක් හොඳට සාධාරණව නිසි පරිදි කරන බහුතරයක් ඉන්නවා. නමුත් මාෆියාවක් ගොඩ නගාගත් අයත් මෙහි ක‍්‍රියාත්මකයි. ඇත්තටම මෙම මාෆියාවට එරෙහිව කටයුතු කිරීම ජීවිතයට පවා තර්ජනයක්. මාෆියාව සමග ගැටෙද්දී ප‍්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

ප‍්‍රශ්නය – තැපැල් කාර්යාල හරහා මැණික් අපනයනය කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කර ඇති බව සඳහන්. එවැනි වැඩපිළිවෙළක් ආරම්භ කළ හේතුව කුමක්ද?

පිළිතුර – එය නව වැඩපිළිවෙළක්. එමගින් කොළඹ ප‍්‍රධාන කාර්යාලයට නොපැමිණ මැණික් හා ස්වර්ණාභරණ තැපැල් කාර්යාල හරහා අපනයනය කිරීමට දැන් අවස්ථාව සලසා දී තිබෙනවා. එනිසා කොළඹ කාර්යාලයට පැමිණීම දැන් අත්‍යවශ්‍ය නැහැ. ඩොලර් 3000කට අඩු අපනයන ඒ අනුව තැපැල් කාර්යාල හරහා යොමු කරන්න පුළුවන්. කොළඹ ප‍්‍රධාන තැපැල් හුවමාරුව, නුවර රත්නපුර ගාල්ල ඇතුළු ප‍්‍රධාන තැපැල් කාර්යාල අටක් හරහා එම පහසුකම අප අපනයන කරුවන්ට ලබා දී තිබෙනවා.

ප‍්‍රශ්නය – මැණික් අපනයනයෙන් ලැබෙන මුදල් නැවත නිසි පරිදි රට තුළට ගලා එනවද?

පිළිතුර – එතනදි ගැටලූ තිබෙනවා. මුදල් අමාත්‍යාංශය අපනයනය කරන එම භාණ්ඩ සඳහා දින 180 ක් ඇතුළත ලදුපතේ සඳහන් මිල රටට ලැබිය යුතු යන නියෝගය කර තිබෙන්නේ ඒ නිසයි. 50% ක් පමණ ගනුදෙනු නිසි පරිදි කෙරෙනවා. නමුත් අනෙක් 50% තුළ එසේ වන්නේ නැහැ. ඇත්තටම මේ තුළින් ඩොලර් මිලියන ගණනාවක දැවැන්ත මුදලක් රටට ගලා එන්නේ නැහැ. නීත්‍යනුකූල නොවන මාර්ග හරහා සිදු කෙරෙන ගනුදෙනු තුළිනුත් රටට විසල් මුදලක් අහිමි වෙනවා. බැංකු හරහා මුදල් ලැබීම තුළ අපගේ ඩොලර් සංචිතය ඉහළ යනවා. එය ඩොලර් අර්බුදයට ද පිළියමක්. මෙම තත්ත්වය පිළිබඳව අප අපනයනකරුවන් දිගින් දිගටම දැනුවත් කරනවා. ඇත්තෙන්ම ඔවුන්ගෙන් යහපත් ප‍්‍රතිචාර මේ වනවිට ලැබෙනවා. අපනයනකරුවන් අපේ ශක්තිය යි. රටේ නාමයෙන් මේ මොහොතේ ලබාදිය හැකි සහායක් ලබාදෙන ලෙස අපි ඔවුන්ට දන්වා තිබෙනවා. ඇත්තටම ඔවුන්ගේ සහාය අපට ලැබෙනවා. ඉදිරියේදී රටට මුදල් ගෙන එන අපනයනකරුවන් වෙත සුවිශේෂ වරප‍්‍රසාද ලබා දීමට අප කටයුතු කරනවා.

ප‍්‍රශ්නය – ඒ මොනවාද ?

පිළිතුර – රටවිරුවන්ට මෙන් ඩොලර් සඳහා වැඩි මුදලක් ලබාදීම, වාහන බලපත‍්‍ර ලබාදීම ඇතුළු නොයෙකුත් වරප‍්‍රසාද ලබාදීම කෙරෙහි අප සාකච්ඡා කරමින් සිටිනවා. අපි ඔවුන්ව නිකම්ම නිකන් අපනයනකරුවෝ කරන්නේ නැහැ. ඔවුන්ට නිසි ගෞරවය සහ සැලකුම් ලබා දුනහොත් ඔවුන් කළු කඩ වෙත අවතීර්ණ වන්නේ නැහැ

ප‍්‍රශ්නය – මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පසුගිය මාස කිහිපය මුළුල්ලේ ජංගම සේවාවන් ගණනාවක් ක‍්‍රියාත්මක කර තිබුණා. ඒ තුළින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

පිළිතුර – මැණික් හා ස්වර්ණාභරණ විකිණීමේදී මෙන්ම පතල් කැණීමේ දී ඒ සඳහා බලපත‍්‍ර තිබීම් අනිවාර්යයි. එසේ නොමැති නම් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමේ නීතිමය හැකියාව අපට තිබෙනවා. එබැවින් අපි දිගින් දිගටම ජංගම සේවා පවත්වමින් අලෙවි කරුවන් සහ පතල් කරුවන් වෙත බලපත‍්‍ර ලබාදීමට කටයුතු කළා. බොහෝ අය වෙත එම බලපත‍්‍රය නැහැ. නමුත් අපිත් අයකිරීමකින් තොරව ඔවුන්ට ජංගම සේවා හරහා බලපත‍්‍ර ලබාදීමට කටයුතු කළා.පසුගියදා හොරණ ජංගම සේවාව මගින් බලපත‍්‍ර තුන් සියයක් පමණ ලබා දුන්නා. බේරුවල දී පැවැත්වූ ජංගම සේවාව මඟින් එවැනි බලපත‍්‍ර හයසීය පනහකට වැඩි ප‍්‍රමාණයක් ලබා දුන්නා. එසේම පසුගියදා ඇඹිලිපිටියේ සිදුකළ ජංගම සේවාව මගින් පතල් කැපීමේ බලපත‍්‍රය ලබාදීමට අප කටයුතු කළා. ඇත්තටම එහි අය මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල පදිංචිකරුවන්. ඔවුන්ට අවසර ඇත්තේ කුඹුරු කිරීම සහ පදිංචිව සිටීමට පමණයි. ඔවුන්ට එම ඉඩම් හි පතල් කැපීමට අවසරයක් ලැබී නැහැ. නමුත් අපි මහවැලි අධිකාරිය සමඟ සාකච්ඡා කර වටිනා මැණික් සම්පත ගොඩගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය වටපිටාව සකසා දුන්නා. එසේම පතල් කර්මාන්තයේ නියැළී සිටින පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙනුවෙන් ‘‘මිණි සහන” නමින් පූර්ණ කාලීන ශිෂ්‍යත්ව ක‍්‍රමයක් අප ලබා දීම ආරම්භ කර තිබෙනවා. එවැනි ශිෂ්‍යත්ව එක් දහස් පන්සියයක් පමණ ලබා දීමට සැලසුම් කර තිබෙනවා. මූලික පියවරක් ලෙස නාවුල පතල් කර්මාන්තයේ නියැළී සිටින පවුල් හි දූදරුවන් දෙසිය පනස් දෙනකු වෙත ශිෂ්‍යත්ව ලබාදීමට අප කටයුතු කළා. එහිදී ඔවුහු පාසල් අධ්‍යාපනය අවසන් කරන තෙක් රුපියල් 1,500ක මාසික දීම දීමනාවක් ලබා දීමට කටයුතු කරනවා.

ප‍්‍රශ්නය – මීට මාස කිහිපයකට පෙර විශාල මැණික් ගල් පොකුරු දෙකක් හමු වුණා. එහි වටිනාකම් පිළිබඳව ඇත්ත නැත්ත පිළිබඳව නොයෙක් මත පළ වුණා. ඇත්තටම එම මැණික් ගල් දෙකට මොකද වුණේ?

පිළිතුර – ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා නොදැන සමහරු විවිධ චෝදනා එල්ල කරා. නමුත් අපි කිව්ව සියලූ දේ සත්‍ය බව දැන් ඔප්පු වී තිබෙනවා. පළමුව හමුවූ කිලෝ 510 බර මැණික් පොකුර ස්විස් ගුඞ්වින් කියන ලැබ් එකේ තිබෙනවා. එයට ලෝකයේ තිබෙන ලොකුම මැණික් පොකුරු ලෙස ගිනස් වාර්තා හතක් පවා ලැබුණා. ළඟදීම එය වෙන්දේසි කිරීමට කටයුතු කෙරෙනවා. ඩොලර් මිලියන 50කින් වෙන්දේසිය ආරම්භ කිරීමට තමයි සැලසුම් කර තිබෙන්නේ. ගිනස් වාර්තාව හිමි වීම මත එම මැණික සඳහා ඉල්ලූම්කරුවන් වැඩි වී තිබෙනවා. ඒ වගේම අනෙක් මැණික් පොකුර වන ප‍්‍රින්ස් ඔෆ් ඒෂියා යන කිලෝ 310 ක් බර මැණික් ගල ඩුබායි වලින් ඉල්ලනවා. එහි අයිතිකරුවන් පවසා ඇත්තේ ඩොලර් මිලියන 100 ක පමණ ඉල්ලූමක් ලැබී ඇති බවයි. මෙම ගල් සම්බන්ධයෙන් ඇතැමුන් වැරදි ප‍්‍රචාර ගෙන ගියා. ඒ කෑගහපු මිනිස්සුන්ට අපි අපි වැඩ වලින් උත්තර දීලා තිබුණා. අපි අල්ලක් තරම් මල්ලක් විකුණා කන්ටේනර් ගණනකට මුදල් ගෙනෙන ආයතනයක්.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment