මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වැය කළ ඩොලර් 35, 000ක් මකර කටේ

397

චීන ප‍්‍රදර්ශනයට යන්න මැණික් ව්‍යාපාරිකයෝ බැහැ කියති

චීනයේ ෂැන්හැයි නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර මැණික් ප‍්‍රදර්ශනයට ව්‍යාපාරිකයන් සහභාගි කරවීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් එම ප‍්‍රදර්ශන කුටිවල වෙනුවෙන් තැන්පත් කරන ලද ඩොලර් 35,000ක් (රුපියල් ලක්‍ෂ 70 කට අධික) මුදල ව්‍යාපාරිකයන් සහභාගි නොවීම නිසා අධිකාරියට අහිමිවීමේ තත්ත්වයක් මතුවී ඇත.

මෙම ප‍්‍රදර්ශනය නොවැම්බර් 05 සිට නොවැම්බර් 10 දක්වා පැවැත්වෙයි. ව්‍යාපාරිකයන් 24 දෙනකුට කුටි 12 ක් වෙන්කිරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මෙම මුදල තැන්පත් කර ඇත. ප‍්‍රකට මැණික් ව්‍යාපාරිකයන් 24 දෙනකු සම්මුඛ පරීක්‍ෂණයේදී ප‍්‍රදර්ශනයට සහභාගිවීමට කැමැත්ත පළ කළත් චීනයේ දින 21 ක නිරෝධායන කාලයක් ගතකළ යුතු බවට පසුව කොන්දේසි පැනවීම නිසා ප‍්‍රදර්ශනයට යෑමට නොහැකි බව ප‍්‍රකාශ කර තිබේ.

ප‍්‍රදර්ශනයට තෝරා ගැනීමට පෙර තමන්ට කොන්දේසි දැනුම් දුන්නා නම් එම අවස්ථාවේ ප‍්‍රදර්ශනයට සහභාගිවීම හෝ නොවීම තීරණය කළ හැකිව තිබූ බවත් පසුවට ඉදිරිපත් කළ කොන්දේසි හේතුවෙන් ගමනට වැයවන අමතර රුපියල් ලක්‍ෂ 08 ක පමණ මුදලක් වැයකිරීමට අපහසු නිසා ප‍්‍රදර්ශනයට නොයෑමට තීරණය කළ බවත් ප‍්‍රකට ව්‍යාපාරිකයෙක් පැවැසීය. ඊයේ (13දා) වනවිට එම ව්‍යාපාරිකයන් 24 දෙනා අතරින් 20 දෙනකු ප‍්‍රදර්ශනයට සහභාගි විය නොහැකි බව අධිකාරියට දැනුම්දී ඇතැයි පැවසූ හෙතෙම යෑමට කැමැති අයද කුටිවලට ගෙවා නොමැති බවද කීය.
විශාල මුදලක් වැයකර ව්‍යාපාරිකයන් ප‍්‍රදර්ශනයට සහභාගි වූවත් එහි ප‍්‍රතිලාභ ලැබේද නොලැබේද යන්න තීරණය කළ නොහැකි නිසා ප‍්‍රදර්ශනයට සහභාගි විය නොහැකි බව ව්‍යාපාරිකයන්ගේ මතය වී ඇති බවද ඔහු පැවැසීය. මෙතෙක් කාලයක් මැණික් අපනයනයේදී මැණික්වල වටිනාකමින් සියයට පහක බදු මුදලක් අය කළත් මෑතකදී එය දෙකයි දශම පහට අඩුකර ඇති නිසා අධිකාරියට විශාල ආදායමක් අහිමිව ඇති මොහොතක රුපියල් ලක්‍ෂ 70 ක්ද අධිකාරියට අහිමි වී යෑමේ අවධානමක් පවතින බව එම අධිකාරියේ නිලධාරියෙක් පැවැසීය. මේ සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ ප‍්‍රදර්ශන කුටිවලට තැන්පත් කළ මුදල් ලබාගැනීම සඳහා එහි සංවිධායකයන් සමඟ සාකච්ඡා කරන බවය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment