මැණිකේ ගීතය මෝදි අගමැතිගේ ප්‍රචාරණ මෙවලමක් වීම

249

පසුගිය වසරේ සැප්තැම්බර් 30 වැනිදා බටහිර බෙංගාල ප‍්‍රාන්තයේ බාබනිපෝර් ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්විණි. මේ මැතිවරණය එම ප‍්‍රාන්ත මහ ඇමැතිනි මමතා බැනර්ජි මහත්මියට අතිශයින් වැදගත් වූ අතර ඇය භාරතීය ජනතා පක්ෂ අපේක්ෂකයා පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබුවාය. මමතා එදා පරාජය වූවානම් ඇයට මහ ඇමැති තනතුරද අහිමිවනු ඇත.

පසුගිය සැප්තැම්බරයේ ලංකාවේ මාධ්‍ය බෙංගාලයේ අතුරු මැතිවරණය පිළිබඳව අවධානය යොමු කර තිබුණේ අපේ ජනප‍්‍රිය ගායිකා යොහානි සිල්වාගේ මැණිකේ මගේ හිතේ ගීතය පාදක කරගෙන මමතා බැනර්ජිට ජයපතා විශේෂ ගීතයක් නිර්මාණය වී තිබූ නිසාය. මැණිකේ ගීතය ඉන්දියාව කැළඹූ නිසාම මැතිවරණ වේදිකාවටද පිවිසියේය. රකේෂ් චක‍්‍රබොර්ති හා ඔහුගේ දුව අපරාජිතා විසින් ගායනා කර තිබූ මෙම ගීතය සමාජ මධ්‍ය ජාලවලද බෙහෙවින් සංසරණය විය. 2022 දී මැණිකේ ගීතය උත්තර් ප‍්‍රදේශ ප‍්‍රාන්ත මැතිවරණ සටනට එක්ව ඇත. එදා මමතා ගේ ජය වෙනුවෙන් භාරතීය ජනතා පක්ෂයේ ඡන්ද සටනට එරෙහිව යොදාගත් මේ ගීතය අද උත්තර් ප‍්‍රදේශ ප‍්‍රාන්ත මහ ඇමැතිගේ ජය තහවුරු කිරීම සඳහා යොදා ගැනේ. මෝදි අගමැති හා ප‍්‍රාන්ත මහ ඇමැති යෝගිගේ දර්ශන යොදාගෙන මෙම ගීතය සකස් කර ඇත්තේ මැණිකේ තනුවටය. එනිසාම ඉන්දියානුවන් අතර යොහානිගේ ගීතය කෙතරම් ජනප‍්‍රිය වී ඇත්ද යන්න හොඳින් වටහා ගත හැකිය. සිංහල මැණිකේ හරහා සිය ජය තහවුරු කරගැනීමට මමතාගේ දේශපාලන ආධාරකරුවන්ට හැකිවිය. දැන් යළිත් මෝදි – යෝගී සංධානයට බලය ලබා ගැනීමට උත්සාහ කරයි. මේ වනවිට උත්තර් ප‍්‍රදේශ ප‍්‍රාන්තයේ හිටපු මහ ඇමැති අකිලේෂ් යාදෙව් ගේ පක්ෂයට විශාල ජනරැල්ලක් මතුවීම භාරතීය ජනතා පක්ෂය කැළඹීමට පත්කර ඇත. පෙබරවාරි 10 වැනිදා ආරම්භ වන මෙම ප‍්‍රාන්ත මහමැතිවරණය මෝදිගේ පක්ෂයට අවාසිදායක වුවහොත් එය ඉන්දීය අගමැතිවරයා ලබන බරපතළ දේශපාලන පසුබෑමකි. මන්ද ඉන්දීය දේශපාලනයේ වෙනසක් වන්නේද යන්න ගැන හොඳම ඉඟිය ලබා ගත හැක්කේ වැඩිම ජන පිරිසක් සිටින උත්තර් ප‍්‍රදේශ ප‍්‍රන්තයෙනි. ඒ අනුව මැණිකේ සංගීතය පදනම් කරගත් ප‍්‍රචාරක ගීතය ”යෙහී මෝදි…යෝගී…යූ.පී යෝගී, යූ.පී යෝගි..ආ..යේගි පීර් සෙ බී.ජේ.පී..” යනුවෙන් රචනා කර ඇත. උත්තර් ප‍්‍රදේශ් ජනතාව ඡන්දය ප‍්‍රකාශ කළ යුත්තේ අගමැති මෝදි සහ මහ ඇමැති අපේක්ෂක යෝගිට බව මෙහි අර්ථ ගැන්වේ. ඇත්තෙන්ම මැණිකේ උත්තර් ප‍්‍රදේශ වැසියන්ට කරනු ලබන ආමන්ත‍්‍රණය සාර්ථකද නැද්ද යන්න මාර්තු 10 වැනිදා ලැබෙන ඡන්ද ප‍්‍රතිඵල අනුව අපට මැන ගත හැකිය. උත්තර් ප‍්‍රදේශ මැතිවරණය පැවැත්වෙන්නේ කොටස් හතකටය. ලංකාවේ මෙන් මේ මැතිවරණ එක දිනයේ පැවැත්විය නොහැක.

බෙංගාල පුවත්පතක් පවසා තිබුණේ මැණිකේ මගේ හිතේ ගීතයේ නව පිටපත හරහා උත්තර් ප‍්‍රදේශ ජනයා දිනා ගැනීමට භාරතීය ජනතා පක්ෂය උත්සාහ කරන බවයි. බෙංගාල ප‍්‍රාන්ත සභා මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය ද විසිතුරු ප‍්‍රචාරක ව්‍යාපාරයක නිරත විය. ‘බෙලා චා ඕ‘, ‘පීසී යා ඕ‘ නම් ගීතය ඉතාලි ජන සංගීතයේ තාලයට ගීයක් නිර්මාණය කරමින් බෙංගාල ජනයාගේ මනාපය දිනා ගැනීමට මෝදී උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත.

මරාති භාෂාවෙන් පුවත් පළකරන මුම්බායි පුවත් වෙබ් අඩවියක් ප‍්‍රකාශ තිබුණේ ඔබට උත්තර් ප‍්‍රදේශ මැතිවරණය 2022: ඔබට ‘මැණිකේ මගේ හිතේ හි බිජේපි අනුවාදය ඇසුණාද? මේ වීඩියෝව සමාජ මාධ්‍යවල බොහෝ ජනප‍්‍රිය වී තිබේ යනුවෙනි. යොහානී හා සතීශාන් රත්නායක විසින් මැණිකේ මගේ හිතේ ගීතය යූ ටියුබ් වෙත මුදාහැරියේ පසුගිය වසරේ මැයි 22 වැනිදාය. මෙහි මුල්ම ගීතය නිර්මාණය කර ඇත්තේ 2020 ජුලි මාසයේදීය. ගීතයේ මුල් ගායකයා සතීශාන් රත්නායක වන අතර පද රචකයා දුලාන් ඒ. ආර්. එක්ස් වේ. මුල් ගායක සතීශාන් පවසා තිබුණේ මේ ගීතය මෙපමණ ජනප‍්‍රිය වීම හීනයක් සැබෑවීමක් බවයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී සිංහල ගායිකා යොහානි සමග සාකච්ඡාවක යෙදුනු තෙලන්ගානා ටුඬේ පුවත්පතේ ස්වේතා වොට්සන් ලියූ Singer Yohani is living an adventurous life මැයෙන් වූ එම ලිපියේ මෙලෙස සඳහන්ව තිබිණි. ‘‘ඔබ පර්වතයක් යට ගල් ගුහාවක ජීවත් නොවන්නේ නම් අනිවාර්යයෙන්ම ශ‍්‍රී ලාංකීය ගායිකා යොහානි විසින් ගයන ‘‘මැණිකේ මගේ හිතේ” නම් වූ සිංහල ගීතය අසා ඇත. මේ ගීය ලොව පුරා ජනතාවගේ හදවත් දිනාගෙන තිබේ.” (උපුටා ගැනීම නිමි) මේ දිනාගත් හදවත් භාරතීය ජනතා පක්ෂයේ ඡුන්ද බවට පත් කිරීමට මෝදිගේ දේශපාලන උපදේශකයෝ කල්පනා කරති. 2021 වසරේ අන්තිම මාස කිහිපය පුරාම යොහානි ඉන්දියාවම වසඟ කළ නිසා ඇය පසුපස ඉන්දීය නාලිකා හඹාඑන්නට විය. සිංහල හඬට ලෝකයේම අගයක් ලැබීම සුවිශේෂ විය. ඇත්තෙන්ම ඉන්දියාව අතික‍්‍රමණය කිරීම ලෙහෙසි වැඩක් නොවේ. ඔවුන් එයට ඉඩ දෙන්නේද නැත. නමුත් දැන් ඒ කතාව යොහානි වෙනස් කර ඇත. විශේෂයෙන්ම හින්දි භාෂාව ප‍්‍රධාන බස නොවන ප‍්‍රාන්තවල මැණිකේ ගීතයට සුවිශේෂ තැනක් ලැබිණි. එය බෙන්ගාලයේදී මෙන්ම ඔරිස්සාවේදී හොඳින් දැකිය හැකිවිය. එසේම දකුණු ඉන්දීය ප‍්‍රාන්ත වලද එසේමය. ඉදිරියේදී පැවැත්වෙන ප‍්‍රාන්ත මැතිවරණ වලද යොහානිගේ ගීතය දේශපාලන මෙවලමක් බවට පත්විය හැක. ඒ එම ගීතයේ නිමා නොවන ජනප‍්‍රියතාව නිසාය. මැණිකේ ගීතය මේ වන විට යූ ටියුබය හරහා කෝටි 20කට වැඩි පිරිසක් නරඹා ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment