මැණිකේ තාමත් ඩුබායිවල

776

යොහානි ද සිල්වා විසින් ගායනා කරන ලද මැණිකෙ මගේ හිතේ ගීතය අපේ රට තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබු කාලය දැන් ක්‍රමයෙන් ගෙවී ගොස් හමාරයි. ඒත් තවමත් ඒ ගීතය ඩුබායි ක්‍රීඩාංගණය තුළ නම් රැව් දෙමින් තිබෙනවා. මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය ලෙසින් ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරගය අතරතුර මැණිකේ මගේ ගීතය නොයෙක් වර ක්‍රීඩාංගණයේ ප්‍රචාරය වුණා. ඒ හඩට ඇළුම් කරන දෙස් විදෙස් රසිකයන්ගෙන් ගීතයට හොද ප්‍රතිචාර ලැබුණා.

ඩුබායි ක්‍රීඩාංගණය තුළ මෙම ගීතය මේ ආකාරයෙන් නද දුන් රැව් දුන් තවත් අවස්ථාවක් මීට පෙර පැවැති පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී උදා වුණා. ඒ පසුගිය ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී. එවර ඩුබායි සාජා සහ අබුඩාබි යන ක්‍රීඩාංගණවලදී මීටත් වඩා අතිශය ජනප්‍රියව ප්‍රේක්ෂකයන් ගේ මනදොල පුරවමින් මේ ගීතය ප්‍රචාරය වුණා. එකල මේ ගීතයට ලෝකය පුරාම විශාල ආකර්ශනක් තිබුණා.

ක්‍රිකට් ක්‍රීඩාංගණ තුළ මේ ආකාරයට බොහෝ විට ගීත ප්‍රචාරය වෙන්නේ එරටට අදාළ ක්‍රීඩකයින්ගේ දස්කම් මතුවන අවස්ථාවලදී පමණයි. විශේෂයෙන් හතරේ හෝ හයේ පහරක් එම රටේ ක්‍රීඩකයින් එල්ල කරන අවස්ථාවවලදී එවැනි ගීත පසුබිමෙන් වාදනය වෙනවා. හැබැයි පසුගිය ඇෆ්ගනිස්තාන සහ ශ්‍රී ලංකාව අතර තරගය අතරතුර මේ ගීතය හිතපු තරම් වාදනය වුණේ නැහැ. මොකද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගේ දස්කම් එදා අල්ප මට්ටමකයි තිබුණේ.

කොටින්ම එදා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එල්ල කර තිබුණේ හතරේ පහර 11 යි. හයේ පහර 2යි. ඇෆ්ගනිස්තානය පන්දු වාර 10 යි එක් පන්දුවක් තුළ තරගයත් ජය ගත්තා. කොටින්ම තරගය හිතුවට වඩා බොහෝ ඉක්මනටම අවසානත් වුණා.

advertistmentadvertistment
advertistmentadvertistment