‘මැණිකේ’ හින්දි ගීතය යූ ටියුබ් නැරඹුම් වාර කෝටි 5 පනී

465

‘මැණිකේ මගේ හිතේ’ හින්දි ගීතය නැරඹුම් වාර කෝටි 05 ඉක්මවා තිබේ.

ඉන්ද්‍ර කුමාර් අධ්‍යක්ෂණය කළ ‘තෑන්ක් ගෝඩ්’ හින්දි චිත්‍රපටය ලබන ඔක්තෝබර් 25 වැනිදා තිරගතවීමට නියමිත අතර එහි පළමු ගීතය ‘මැණිකේ’ මාධ්‍ය වෙත පසුගිය 16 වැනිදා නිකුත් කෙරුණි. මෙම ගීතය නිකුත් කර දින දහයක් ඇතුළත යූටියුබ් හි නැරඹුන් වාර කෝටි 05 ඉක්මවා තිබේ.

‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටය ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සංගීත තැටි සහ චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන ටී-සීරිස් ආයතනයේ නවතම නිෂ්පාදනයයි. ‘තෑන්ක් ගෝඩ්’ හින්දි චිත්‍රපටය වෙනුවෙන් මැණිකේ ගීතය ප්‍රතිනිර්මාණය කිරීමේදී එහි තනු නිර්මාණය වෙනුවෙන් ටී- සීරිස් ආයතනය චමත් සංගීත්ගේ දායකත්වය ද ලබා ගෙන තිබේ. සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ නෝරා ෆතේහි විසින් නිරූපණය කරන ලද නර්තනය වෙනුවෙන් මැණිකේ ගීතය ගායනා කිරීමට යොහානි සමඟ ජුබීන් නෞටියාල් සහ සූර්යා රගුනාදන් එක් වෙති.

සතීෂාන් රත්නායකගේ මුල් ගායනයෙන් ප්‍රතිනිර්මාණය කර යොහානි ද සිල්වා විසින් ගායනා කළ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයට කෝටි ගණනක් දෙස් විදෙස් රසික හදවත් දිනාගැනීමට වැඩි කාලයක් ගත නොවීය. දුලාන් ඒ.ආර්.එක්ස් පද රචනය කළ ‘මැණිකේ මගේ හිතේ’ ගී තනුව චමත් සංගීත්ගෙනි. ‘මැණිකේ මගේ හිතේ’ සිංහල බසින් සේම මලයාලම්, දෙමළ සහ හින්දි භාෂාවන්ගෙන්ද ප්‍රතිනිර්මාණය වී තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment