මැතිවරණය පෙරට: තැපැල් ඡන්ද 22 දා සිට

131

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන තීන්දුව ප්‍රකාරව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සියලු කටයුතු කරගෙන යන බවත් ලබන 22 වැනිදා සිට 24 දා දක්වා තැපැල් ඡන්ද විමසීමත් ඒ අයුරින් ම සිදුකරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ‘දිවයින’ ඉරිදා සංග්‍රහයට පැවසීය.

මැතිවරණය පැවැත්වීමට අදාළව එළැඹෙන 23 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදීමට නියමිත තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය සිකුරාදා (10 වැනිදා) ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ලබන 23 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදීමට නියමිත තීන්දුව ලැබෙන තෙක් මැතිවරණ කොමිසම මැතිවරණ පැවැත්වීමට අදාළව සිදුකරන කටයුතු එලෙසින් ම කරගෙන යන බව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීය.

පළාත් පාලන ආයතන විසුරුවා නොමැති වීම මැතිවරණ පැවැත්වීමට කිසිදු නෛතික බලපෑමක් ඇති කරන්නක් නොවේ යැයි ද යම් හෙයකින් ඒ ඒ පළාත් පාලන ආයතන රාජ්‍ය දේපළ අවභාවිත කරන බවට කොමිසම වෙත පැමිණිලි ලැබුණහොත් ඒ පිළිබඳ පරීක්‍ෂා කර නඩු පවරා එවැනි අයට එරෙහිව නෛතික පියවර ගන්නා බව ද මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment