මැතිවරණ කොමිසම හරි පාරේ බෙදීමක් පේන්න නෑ – පැෆරල් කියයි

162

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මෙතෙක් ගෙන තිබෙන ක්‍රියාමාර්ග නීත්‍යානුකූලව ගෙන තිබෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කීය.

මැතිවරණ කොමිසම් සාමාජිකයන් අතර මත ගැටුම් සහ බෙදීම් පවතින බවට ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කළත් මේ වනතෙක් එම කොමිසමේ කිසිදු සාමාජිකයෙක්ගෙන් එවැනි අදහස් ප්‍රකාශ කිරීමක් හෝ ලිඛිතව දැනුම් දීමක් කර නැතැයිද හෙට්ටිආරච්චි මහතා කීය.

පසුගිය වකවානුවේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා එහි සාමාජිකයන් රටපුරා සිදු කළ සංචාරවලදී මැතිවරණය අහවල් වකවානුවට පෙර පවත්වන බවත් නාමයෝජනා කැඳවන බවත් ප්‍රකාශ කළ බව ඒ මහතා කීය.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පස්දෙනාගෙන් එක් අයකු හෝ දෙන්නකු වෙනස් මතයක් දැරුවත් එය මැතිවරණ ප්‍රකාශයට පත්කිරීමට ගැටලුවක් නැතැයිද එවැනි දෙයක්වත් කිසිදු සාමාජිකයකු මෙතෙක් ප්‍රකාශ කර නැති නිසා ඔවුන් අතර මත ගැටුම් හෝ බෙදීම් නොමැති බවට පෙනෙන්නට තිබෙන බවද හෙට්ටිආරච්චි මහතා කීය.

මේ වනවිට මැතිවරණයට මුදල් නැතැයි මුදල් අමාත්‍යාංශ නිලධාරියකු පවසන බවත් තවත් අවස්ථාවල නීතිපති උපදෙස් ගන්න යන බවට නිරීක්‍ෂණ සංවිධාන කැමැති නැති බවට ප්‍රකාශ වුවත් එම ප්‍රකාශ සිදුකරන නිලධාරියෙකුගේ නමක් සඳහන් නොවන නිසා එය කිසියම් කණ්ඩායමක් මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා කරන කුමන්ත්‍රණ ලෙස දකින බවත් හෙට්ටිආරච්චි මහතා කීය.

මැතිවරණ කොමිසම යනු ස්වාධීනව කටයුතු කළ හැකි ආයතනයක් බවත් එහි සාමාජිකයන් ගෙන්වා අඩුපාඩු පවතී නම් එයට දිය හැකි පිළියම් ගැන සාකච්ඡා කළ හැකි බවත් කී හෙට්ටිආරච්චි මහතා ඔවුන් ගෙන්වා ඔවුන් අතර බෙදීම් පවතින බවට සිදුකරන ප්‍රකාශ ගැන නැවත වරක් සිතා බැලිය යුතු බවත් කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment