මැතිවරණ තියන දින ව්‍යවස්ථාවේ දැමිය යුතුයි

93

දේශපාලනඥයන්ට මැතිවරණ දින තීරණය කරන්න දෙන්න එපා – ඉරාන් වික්‍රමරත්න (සජබ)

දේශපාලනඥයන්ට මැතිවරණ දින තීරණය කරන්න දෙන්න එපා. එය ගලින් කොටා ව්‍යවස්ථාවෙත් දාන්න ඕන. ජනාධිපතිවරණය දින, මහ මැතිවරණ දින හා පළාත් පාලන මැතිවරණය මේ දවසට තියන්න ඕන කියලා ව්‍යවස්ථාවේ දාන්න ඕන. නමුත් සමහර මැතිවරණ එකම දින තියන්න පුළුවන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (12 දා) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

මැතිවරණ තිව්වම මුදල් යනවා කියලා බොරු කතාවක් ප්‍රචාරය කරනවා. මොනවද මේ කතා කරන්නේ. මැතිවරණයක් තියන්න ඕන නම් රජයට රුපියල් බිලියන දහයක් වියදම් වෙනවා. හැබැයි 2023 අයවැය සම්මත කරගත්තා දෙසැම්බර් මාසයේ එහිදී රජයේ වියදම කීයද රුපියල් බිලියන 7900යි. මැතිවරණයට යන්නේ බිලියන 10යි. මොකක්ද මේ කරන විහිළු බොරු කතා. බොරු කතා කියලා ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරන්නවත් මිනිස්සුන්ගේ ස්වෛරීත්වය කඩන්නවත් ඔවුන්ට ඉඩ දෙන්නේ නැහැ.

මේ අය මැතිවරණයට මුහුණ දෙන්න අකමැති පොඩි නාට්‍යයක් යනවා. එක පැත්තකින් ඒ අයත් ගිහිල්ලා සමහර තැන්වල ප්‍රසිද්ධියේ තැන්පත් මුදල් දීගෙන යනවා. එය නාට්‍යය කොටසක්. අනිත් පැත්තෙන් ඒක මණ්ඩලයම තීරණයක් ගන්නවා මැතිවරණ තියන්න තැන්පත් මුදල් බාර ගන්න එපා, අපි මේක කොහොම හරි කල් දාන්න ඕන කියලා. ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට මේ නාට්‍ය හොඳට පුරුදුයි.

මේ අය මහ ඡන්දයකට යන්න බයයි. ගමට බහින්න බෑ. හුඟක් අයට ගෙන් ගෙට යන්න බැහැ. අවංකම ක්‍රියා කරානම් ඒ කාලය තුළ ගෙයින් ගෙට යන්න පුළුවන් වෙන්න ඕන. හොරකම් කරේ නැත්නම් පිටරටවල්වල වත්කම් සඟවාගෙන හිටියේ නැත්නම් යන්න බය වෙන්න ඕන නෑ. මම දැක්කා කැනඩාව ප්‍රකාශයක් කරලා තියෙනවා මහින්ද රාජපක්ෂටයි ගෝඨාභය රාජපක්ෂටයි තව නිලධාරී දෙන්නෙකුට කැනඩාවට එන්න බැහැ කියලා. එය කැනඩා රජයේ තීරණයක්. ඒ අයගේ වත්කම් තියෙනවා නම් ස්ථාවරභාවය තියාගන්න තවත් තැනකට ගෙනියන්න දෙන්නේ නැහැ. මේ රටේ මිනිස්සු දිගින් දිගටම කියන්නේ දේශපාලඥයෝ හොරු. ඔවුන්ට පිටරටවල්වල සල්ලි තියෙනවා කියලා. මේ අය කලබල වෙන්න ඕන නැහැ හොරකම් කරල නැත්තම්.

මේ රටේ සාධාරණත්වයක් නැහැ. මහ බැංකුවේ හිටපු අධිපති මිලියන ගණන් ඩොලර් දීලා ඇමෙරිකාවේ මිනිහෙකුට. අපි දන්නෙත් නැහැ. ඇමෙරිකාවේ අධිකරණය ඉන්පසු ඔහු අවුරුදු 12ක හිරේ යවලා. ශ්‍රී ලංකා ගුවන් සේවයේ ප්‍රධානියාගේ බිරිඳගේ ගිණුමට

සිංගප්පූරුවේ මුදල් දාලා. එංගලන්තේ තීන්දුවක් තියෙනවා ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ප්‍රධානියාගේ බිරිඳගේ ගිණුමට ඩොලර් බිලියන ගණන් දාලා තියෙනවා කියලා. මේ දෙන්නම වැරදිකරුවන් යටපත් කරල තියෙනවා. එංගලන්තෙ අපේ රටේ උසාවියේ තවම මොනවත් නැහැ. ඒ විතරක් නෙමේ ඇමරිකාවේ ජාලිය වික්‍රමසූරිය කියලා අපේ තානාපති කෙනෙක් හිටියා සල්ලි ගන්න හැදුවේ කියලා ඇමරිකාවේ උසාවි තීන්දුවක් දීලා තියෙනවා ලංකාවේ අධිකරණය තවමත් එහෙම එකක් නැහැ. අලුත් එක තමයි කැනඩාවේ වෙච්ච වැඩේ. අපි යෝජනා කරන්නේ දේශපාලනඥයන්ට මැතිවරණ දින තීරණය කරන්න දෙන්න එපා. එය ජනතාවගේ අයිතිවාසිකමක්. එය ගලින් කොටා ව්‍යවස්ථාවෙන් දාන්න ඕන. ජනාධිපතිවරණය දින, මහමැතිවරණය තියෙන්නෙ මේ දවසට, පළාත් පාලන මැතිවරණය තියෙන දින දාලා තියන්න ඕන. සමහර මැතිවරණ එකම දින තියන්නත් පුළුවන්.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment