මැතිවරණ මගඩි සහ 13 වැනි සංශෝධනය

125

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලය බෙදාහැරීමට දැඩි විරෝධතාවක් සමාජයේ එක්තරා අංශයකින් මතුවෙමින් තිබේ. මෙය පවත්නා තත්ත්වය ඉක්මවා යන විරෝධයක ස්වරූපයක් ලෙස ද පෙනී යයි.

මහා සංඝයා වහන්සේ මෙම විරෝධයේ පෙරමුණ ගෙනෙ සිටිති. උන්වහන්සේලාගේ වැඩි අවධානය මෙම සංශෝධනයේ ඇති පොලිස් බලතල හා ඉඩම් අයිතිය යන අංශ වෙත යොමු වී ඇත. මීට අමතරව ජාති ආගම්වාදී වෙනත් පාර්ශ්ව ද මෙම විරෝධයේම කොටස්කරුවෝ වී සිටිති.

මෙතෙක් කල්, නිහඬව රජයේ සියලුම ක්‍රියාන්විතයන් හිස නමාගෙන ඉවසා සිටි ජාති ආගම්වාදී දේශපාලකයන් හා එම සංවිධාන වෙත මහත් දේශප්‍රේමීත්වයක් හදිසියේම ආරූඪ වී තිබීම විශ්මය ජනකය. රටේ ජනතා ආරක්ෂාවේ එකම පසුබිම දේශප්‍රේමීත්වයයි යන්න ඔවුන්ගේ දැඩි මතවාදය වී ඇති බව මෙහිදී පෙනී යයි. ඒ හැර රටේ ඇති වී තිබෙන අර්බුදය පිටුපස ඇති කාරණා ප්‍රමුඛ වී නොමැතිය යන හැඟීමක් ද සමාජයේ කථිකාවතට ලක් වේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද මැතිවරණ උණුසුම යටතේම මෙම ප්‍රකාශනය එළියට ඇද දැමීමට ක්‍රියා කිරීමේ ද යම් උපායාත්මක අර්ථයක් ඇති බව පැහැදිලිය. ඒ අනුව අද වනවිට රටේ පවත්නා තියුණුම ගැටුම්කාරීත්වය මෙම මාතෘකාව දෙසට හැරවීම සඳහා දරන ප්‍රයත්නයක ඉරියව් මෙහි ඇත. පොර කුකුළන් මෙන් සටනට පිවිස ඇති ප්‍රතිවාදීන් එකම කොටුවකට දමා එහි විපුල ඵල නෙළාගැනීමේ යම් හැකියාවක් මේ යටතේ ලබා ගැනීමට පාලකයන් දරන උත්සාහයක් මෙහි නැතැයි කිව නොහැක.

පීඩාවට පත් වන ජාතියකගේ අයිතීන් සම්බන්ධයෙන් සාධාරණ ඉදිරියක් වෙත පිවිසීමේ අවංක අරමුණක් ජනාධිපතිවරයාට තිබේද? නැතහොත් ඉන්දීය නියෝජිතයන්ගේ සංචාරයත් සමග මෙම අවශ්‍යතාවය මතු වූයේද? නමුත් මෙම සංශෝධනයේ තියුණු සාකච්ඡාවට ලක්වන මාතෘකාවක් මේ මොහොතේදී ගෙන හැර දැක්වීමේ හෙළිදරව් නොවූ යම් අරමුණක් ඇතැයි යන්න ජන සමාජයේ සංවාදයට ලක් වේ. මෙමගින් ජාති ආගම්වාදී නැගී සිටීමේ පෙළහරපෑමක් මතුවීමට ඉඩහැරීම යුක්ති සහගත නැත.

පූර්ණ වශයෙන්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ යෝජනාවක් නැවත වරක් සමාජයට ගෙනහැර දැක්විය යුතු ද යන පැනය මතු වේ. මේ වන විටද මෙම සංශෝධනය රටේ ව්‍යවස්ථාපිත නීතියක් බවට පත්වී ඇති හෙයිනි. එමෙන්ම මෙම සංශෝධනයෙන් ප්‍රකාශිත ද්‍රවිඩ ජනයා ප්‍රමුඛ සුළු ජාතීන්ගේ අයිතීන් තහවුරු කිරීමේ අවශ්‍යතාවය ද තීරණාත්මක කරුණක් වී ඇත. ඔවුන්ගේ දේශපාලන හා පුරවැසි අයිතිය තවදුරටත් යටපත් කිරීමේ යුක්ති සහගත බලයක් කිසිදු පාලනයකට නොමැත යන්න ද අතිශයින්ම පැහැදිලිය. මේ වනවිට මෙම සංශෝධනයේ ප්‍රකාශනයන් බලාත්මක කිරීමේ කාර්යයට දීර්ඝ කාලයක් ගත වී තිබේ. එවැනි පසුබිමක් යටතේ ප්‍රතිවිරෝධී මතයක් සමාජය මත පතිත කිරීමට වෑයම් කිරීම මේ මොහොතේ කොතරම් උචිත ද යන්න සැලකිල්ලට ලක්විය යුත්තකි.

නැවත වටයකින් ලාංකේය ජන සමාජය දුර්දාන්තයකට ඇදගෙන යෑමේ පහසු වාතාවරණයක් මේ අවස්ථාවේ නිර්මාණය කිරීමට දරන ප්‍රයත්නය තවත් භේදයකි. යුද්ධය අවසන් වී වසර 14 ක කාලයක් එළැඹ තිබුණ ද සංහිඳියාව ඇති කිරීමේ කිසිදු භාවිතයක් වෙත ළඟාවීමට වත්මන් පාලනය හෝ පසුගිය පාලන අසමත් වී ඇත. නමුත් මේ අවස්ථාව මඟ හැරීමේ සාධාරණ අයිතියක් කිසිදු පාලනයකට නොමැත.

මෙම ගැටලුව පිළිබඳව හා ඒ ආශ්‍රයෙන් මතුව ඇති වේදනාකාරී සමාජ පසුතලය ගැන පසුගිය ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සමුළුවේදී ද මතු කෙරිණි. නමුත් එහිදී සංහිඳියාව ඇති කිරීමේ කිසිදු ප්‍රයත්නයකට යොමුවීමේ ඉඩකඩක් විවෘත කර ගැනීමට පාලකයෝ අසමත් වූහ. මෙම පැනය එම සමුළුවේදී උද්ගතවීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යවරයා ආවේගශීලීව ඊට ප්‍රතිචාර දැක්වූයේය. අද වනවිට උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ ගැටලුව බරපතළ ස්වරූපයෙන් මතු වේ. මේ වනවිට දේපළ අහිමි වී වෙනත් රටවල රටක් නැති ජාතියක් ලෙස කල්ගෙවන ද්‍රවිඩ ජාතිකයන් විශාල ප්‍රමාණයකි. මොවුන්ගේ දේපළ අයිතිය නිරවුල් කිරීම, නැවත පදිංචි කරවීම දකුණේ ජනතාවගේ ඡන්ද සංඛ්‍යාව මත තීරණය කිරීම තවත් ඛේදනීය අත්දැකීමකි. එය සංහිඳියාව වෙත ළඟාවීමේ මාවත අහුරා දැමීමක් මිස නිශ්චිත අරමුණක් වෙත ප්‍රවේශවීමක් නොවේ. මේ වනවිට මෙම ගැටලුව වඩා සංවේගජනක සංවේදී ප්‍රකාශනයක් වී ඇත. එය මානුෂික මෙහෙවරක යුක්ති සහගත ක්‍රියාන්විතය අඩපණ කිරීමක් බව ජාත්‍යන්තරයේ පිළිගැනීමයි.

පසුගිය දින ජීවන්ත පීරිස් පියතුමා මහවැලි එල් කලාපයේ පැවැති ජනහමුවකදී ප්‍රකාශ කළ අදහස් ගැන බරපතළ විවේචන සමාජයේ ඇතැම් පිරිස් අතර මතුවෙමින් තිබේ. එම ප්‍රකාශන ජාතිවාදය ඇවිස්සීමේ පසුබිමක් ලෙස විවේචනයට ලක් වේ. නමුත් එහි ඇත්තේ ජාතිවාදය ඇවිස්සීමක් ද යන්න විමසා බැලිය යුතුය. පවත්නා තත්ත්වය සාධාරණීකරණයකට ලක්විය යුතුය යන්න එහිදී ප්‍රකාශ කෙරිණි. එම මහවැලි කලාපයේ ඉඩම් ද්‍රවිඩ ජනතාවට ද ලබාදෙමින් ජනපද කරණයේ පවත්නා ජාතිවාදී ස්වරූපය හකුලා දැමීමට කටයුතු කිරීමේ වැදගත්කම එහිදී ප්‍රකාශ කිරීමේ ඇති ජාතිවාදය කුමක්ද යන්න අපැහැදිලිය.

යාපනය විශ්වවිද්‍යාලයේ පැවැති සිසු විරෝධයකදී එකම රටක නිදහස් උත්සව 2 ක් පැවැත්වීම ගැන විවේචන මතු විය. එහිදී යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කියා සිටියේ එකම රටක නිදහස් උත්සව දෙකක් අවශ්‍ය නොවන බවයි. ඒ අනුව ඔවුන්ගේ ප්‍රකාශයේ තවත් අරුතක් ද සන්නිවේදනය වේ. පාලකයන් විසින් බෙදුම්වාදයේ රේඛාව ඇදීමට හිතා මතාම දැරූ උත්සාහයක් මෙහි පැවති බවයි.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලගැන්වීම ජනමත විචාරණයකට යොමු කළ යුතුය යන්න ද මේ අතර සාකච්ඡාවට ලක්වෙමින් තිබේ. මෙය ද ඉදිරියට එමින් තිබෙන ප්‍රශ්නය යටපත් කිරීමට හෝ ජාතිවාදී ගොහොරුවේ ගිල්වා දැමීමට ප්‍රයත්න දැරීමකි. නැතහොත් සෝද සෝදා මඩේ දැමීමකි. ඉඩම් අයිතිය හා පොලිස් බලතල ලබාදීම සම්බන්ධව ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් කරුණු සහ එම අයිතිය පිළිබඳ ප්‍රකාශන හිතුවක්කාරී ලෙස භාවිතයට ගනු ඇතැයි යන්න සීමා කරවන වගන්ති 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේම තිබේ. මෙම කරුණු නිසි පරිදි හෙළිදරව් කරමින් දැනටමත් නීතියක් බවට පත්ව ඇති සංශෝධනයේ ප්‍රකාශන රැකගැනීමට උත්සාහ දැරීම පාලනයේ වගකීමයි. මෙම ගැටලු අරඹයා ජාති භේදයකින් තොරව මෙරට ජනතාව ගෙවූ වන්දිය අතිමහත් බව අවධානයට ලක්විය යුතු වේ.

ප්‍රියන්ත සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment