මැතිවරණ ලබන වසරේ – නීතිය හා සාමය රකිනවා අරාජිකත්වයට ඉඩ තියන්නේ නෑ

274

ජනපති කියයි

ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වීමත් සමග ලබන වසරේ දී තම ඡන්දය භාවිත කර, රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කර ගැනීමට අවැසි පසුබිම ජනතාවට සකස් වනු ඇති බව සිය විශ්වාසය යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රජය ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන බවත් ජනාධිපතවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඉකුත් 18 වැනිදා පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති රොටරි සමාජයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත් වන දිස්ත්‍රික් අංක 3220 විසින් සංවිධානය කරන ලද 32 වැනි රොටරි දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

රටේ ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා මේ වසර අවසන් වීමට පෙර රටේ ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රීයව ක්‍රියාත්මක වන සමාජයක් ගොඩනඟන බවට සහතික වන බව ද කීවේය.

එමෙන්ම රටේ ආර්ථික ගැටලු විසඳා ගැනීමත් සමග තවදුරටත් ජනතාවට පීඩාවට පත්වීමට ඉඩ නොතබන බව සඳහන් කළ ජනාධිපතිවරයා රජය සියලු තීන්දු තීරණ ගන්නේ ඒ වෙනුවෙන් බව ද කියා සිටියේය.

තමන් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙකු බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නමුත් රටකට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පළමුව මහජන සාමය අවශ්‍ය බවත්, ඒ සඳහා නීතිය හා සාමය පවත්වා ගැනීම අවශ්‍ය බවත් සඳහන් කළේය.

රටක නීතිය හා සාමය නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය නොහැකි බවත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දෙවනුව ස්ථාවර ආර්ථිකයක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා කීවේය.

නීතිය, සාමය සහ ආර්ථික ප්‍රකෘතිය නොමැති රටක ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නොව අරාජිකත්වය බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට අරාජිකත්වයේ මාවතේ පහළට ගෙන යෑමට තමා කිසිවිටක ඉඩ නොතබන බවත්, රටේ නීතිය හා සාමය සහතික කිරීමට කැපවන බවත් සඳහන් කළේය.

පෝලියෝ මර්දන ව්‍යාපාරය, සුනාමිය සහ ඖෂධ හිඟය ඇතුළුව පසුගිය කාලයේ ඇති වූ අර්බුදකාරී අවස්ථාවන්හිදී මෙන්ම වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ද රොටරි සමාජය ශ්‍රී ලංකාවට ලබා දෙන සහය අගය කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

සමුළුවේ සභාපති සහ රොටරි සමාජයේ හිටපු සභාපති අනීෂා ධර්මදාස, ශ්‍රී ලංකා සහ මාලදිවයින ඇතුළත් දිස්ත්‍රික් 3220හි ආණ්ඩුකාර පුබුදු ද සොයිසා, දිස්ත්‍රික් උපදේශක සහ හිටපු සභාපති ප්‍රදීප් අමිර්තනායගම් යන මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.

ජාත්‍යන්තර රොටරි සභාපති ජෙනිෆර් ජෝන්ස් මහත්මියගේ නියෝජිත වැලරි වේෆර් මහත්මිය, හිටපු දිස්ත්‍රික් ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් හිටපු සභාපතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment