මැතිවරණ වියදම් පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය කථානායකට

93

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ වියදම් රෙගුලාසි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව විභාගයක් පැවැත්වූ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

මැතිවරණ නිරීක්ෂකයකු වශයෙන් කටයුතු කරන ඩී. එම්. දසනායක මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබුණි.

මෙම පෙත්සම ඊයේ ( 23 දා) ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ සලකා බැලුණි.

පෙත්සම්කරු අධිකරණය හමුවේ කියා සිටින්නේ මැතිවරණ සඳහා තරග කරන අපේක්ෂකයකුට ලැබෙන මුදල්, පරිත්‍යාග හා වියදම් යනාදී කාරණා පිළිබඳ

විගණනය කිරීමේ බලතල යෝජිත පනත් කෙටුම්පත තුළින් පවරා නොමැති බවයි.

එමෙන්ම යම්කිසි අපේක්ෂකයකු වෙනුවෙන් ප්‍රචාරණ, ප්‍රවර්ධන හා වියදම් සිදුකිරීමේ හැකියාව තුන්වන පාර්ශ්වයකට ලබාදී ඇති බවත් එය යහපත් තත්ත්වයක් නොවන බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

එමෙන්ම යෝජිත පනත් කෙටුම්පතෙන් සඳහන් කර ඇති වැරදි සඳහා පනවනු ලබන දඬුවම් ප්‍රමාණවත් නොවන බව පවසන පෙත්සම්කරු යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් තොරතුරු දැන

ගැනීමේ අයිතිය පිළිබඳ පනතේ වගන්ති උල්ලංඝනය වීමක් සිදු වුණ බවත් සඳහන් කර තිබේ.

ඊට අමතරව අදාළ පනත් කෙටුම්පතෙන් යම් කිසි මැතිවරණ අපේක්ෂකයකු කරනු ලබන වියදම් පිළිබඳව සොයා බැලීමට මැතිවරණ කොමිසමට බලයක් ලබාදී නොමැති බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

එබැවින් අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත මෙවැනි ප්‍රතිපාදනවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අවන්ති පෙරේරා මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අවසන් කරමින් එහි රහසිගත නිගමනය කථානායකවරයා වෙත දැනුම් දෙන බව නිවේදනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment