මැතිවරණ හා මානව හිමිකම් කොමිෂන් සභාපතිවරුන් ඉවත් කිරීමට ඉඩ දෙන්නේ නෑ – සජිත් ප්‍රේමදාස

79

22 වැනි සංශෝධනයට සහාය දුන්නත් රටට හොඳම දේ වන්නේ සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21 වැනි සංශෝධනයෙන් බවත් එසේ හොඳ දෙයක් තිබියදී 22 ට සහයෝගය දුන්නේ ගෝඨාභයගේ ඒකාධිපතිවාදය පරාජය කිරීමට බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පොහොට්ටුවේ ඇමැති කමිටුවල විවිධ කුමන්ත්‍රණ දියත් කරමින් පසුගිය කාලයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටි මානව හිමිකම් කොමිසමේ මැතිවරණ කොමිසමේ ස්වාධීන සභාපතිවරුන් ඉවත් කිරීමට උත්සාහ කරන බව පැවසූ විපක්‍ෂ නායකවරයා එසේ රාජ්‍ය බලය අනිසි ලෙස උපයෝගී කරගෙන දරදඬු ක්‍රියාමාර්ග ගැනීමට කිසි විටකත් ඉඩනොදෙන බවත් සමගි ජනබලවේගය නිරන්තරයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයාගේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින බවත් එම සභාපතිවරුන්ගේ රාජකාරියට බාධා නොකර පුළුවන් නම් මැතිවරණයක් තියන ලෙස රජයට අභියෝග කරන බවත් පැවසීය.

සමගි ජනබලවේගයේ දිවුලපිටිය ආසන බල මණ්ඩල  රැස්වීම අමතමින් විපක්‍ෂ නායකවරයා මේ බව පැවසීය.

ඕනෑම පුද්ගලයකුට වැඩක් කළ නොහැකි කාලයක් එන බවත් ශාරීරික ශක්තිය මානසික ශක්තිය හීනවී ගිය බව අවබෝධ වූ විගස ජනතාව ප්‍රතික්‍ෂේප කිරීමට පෙර දේශපාලනයෙන් විශ්‍රාම යායුතු බවත් පැවසූ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමාට කිසිම දිනක බලපෙරේත කමක් හෝ බල තණ්හාවක් නොමැති බව කියා සිටියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිවැරදි ගනුදෙනුවක් සිදුවිය යුතු වුවත් වත්මන් පාලකයන් දෙනු යන සංකල්පය පමණක් පෙරටු කරගෙන ගනු යන සංකල්පය විකෘති කරමින් බංකොලොත් වූ රට තවත් බංකොලොත් කිරීමට උත්සාහ කරන බවත් මෙය ජාතික ඛේදවාචකයක් බවත් විපක්‍ෂ නායකවරයා පැවසීය. ඩොලර් ගෙන එන සංචාරක කර්මාන්තයට සහ තොරතුරු තාක්‍ෂණ කර්මාන්තයට බදු ගහන බවත් වත්මන් ආණ්ඩුවේ ස්නායු පද්ධතිය හරියට වැඩ නොකරන අවුල් ජාලයක් බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

දිවුලපිටිය – අයි. එම්. අබේරත්න
 

advertistmentadvertistment
advertistmentadvertistment