මැතිව්ස්ගේ ශතකයෙන් ක්‍රයිස්චර්ච් පිටිය සමබර වෙයි

150

තරග 101කට සහභාගි වී තවත් ටෙස්ට් තරග සොයමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පැය 6කට ආසන්න කාලයක් (විනාඩ් 324) වෙහෙස වී රැස් කරන ලද සිය 14 වැනි ටෙස්ට් ශතකය හේතුවෙන් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි හැග්ලි ඕවල් පිටිය අද (13 වැනිදා ) උණුසුම් ස්වරූපයක් ගනු ඇත.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වැනි දිනයේදී කණ්ඩායම් දෙකටම සමබර තරගයක් නිර්මාණය කිරීමට සමත් වූ මැතිව්ස් නිසා සත්කාරක ක්‍රීඩකයෝ අවසන් දිනයේදී කඩුලු 9ක් අතැතිව ජයග්‍රහණයට තවත් ලකුණු 257 ක් මෙපිටින් සිටිති.

සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ප්‍රතිවාදී නවසීලන්ත පිතිකරුවන් දවා ගැනීම සඳහා පන්දුවාර අනූවක් හෝ ඇතැම් ඇතැම් විට ඊටත් වඩා ඉතිරිව තිබේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 285 ක ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්ත කණ්ඩායම ඊයේ (12 වැනිදා ) දිනයට තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබා සිටියේය.

ඔවුන්ගේ කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට වැඩිම තර්ජනයක් එල්ල විය හැකි යැයි අපේක්ෂා කළ හැකි හිටපු නායක කේන් විලියම්සන් සහ දක්ෂ ආරම්භක පිතිකරු ටොම් ලේතම් ඒ වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

නවසීලන්ත කණ්ඩායම මීට පෙර එරට තුළ දී වාර්තා කර ඇති හොඳම ජයග්‍රාහී ලකුණු හඹා යෑම වන්නේ පාකිස්තානයට එරෙහිව කඩුලු 5ක් දැවී ලකුණු 324ක් හඹා යෑමය.

නවසීලන්ත වේගපන්දු බල ඇණිය හමුවේ නැගී සිටි 35 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් දුර්වල පන්දුවලට සිය ප්‍රහාරය දියත් කරමින් රැස් කරන ලද අගනා ශතකය ලකුණු 115 ක් දක්වා දික්වූ අතර මැට් හෙන්රි ගේ පන්දුවක් පිත්තේ ගෑවී ගොස් කඩුලු රකින්නා ගේ දෑතේ හිර නොවන්නට නවසීලන්තයට මීටත් වඩා ලොකු ඉලක්කයක් හිමිවීමට ඉඩ තිබිණි. පෙරේදා දිනයේ දී ලකුණු 85කට කඩුලු 3ක් දැවී ශ්‍රී ලංකා ඉනිම නතර කරන විට කණ්ඩායමේ ප්‍රබල බලාපොරොත්තු ලෙස සිටි නායක දිමුත් කරුණාරත්න, ඕෂධ ප්‍රනාන්දු සහ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ද නැවත ක්‍රීඩාගාරය කරා ගොස් සිටියහ.

එහිදී නොදැවී ලකුණු විස්සක් ලබා සිටි මැතිව්ස් ඊයේ දිනයේ දී දිනේෂ් චන්දිමාල් සමග ශතක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාව ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කර ගෙන ඒමට සිය අත්දැකීම් සමුච්චය මැනවින් ප්‍රයෝජනයට ගත් හ.

දිනේෂ් චන්දිමාල් වටිනා ලකුණු 42ක් කණ්ඩායමට එකතු කළ අතර අනතුරුව මැතිව්ස් ශතකය කරා ගියේ ධනංජය ද සිල්වා අනෙක් අන්තයේ සිට ලබාදුන් සහය මතිනි.

තරගයේ 91 වැනි පන්දු වාරය ආරම්භ වන විට ශතකයට ලකුණු 05ක් මෙපිටින් සිටි මැතිව්ස් බ්ලෙයාර් ටික්නර් ගේ එම පන්දු වාරයේ පළමු පන්දු දෙකටම අලංකාර හතරේ පහර දෙකක් එල්ල කරමින් සිය ශතකය සම්පූර්ණ කළ අතර එම පන්දු වාරයේ 5 වැනි පන්දුවත් හතරේ සීමාවට ඇදී ගියේ මැතිව්ස් ගේ ෆුල් පහරේ ජවය ප්‍රතිවාදීන් ට පෙන්වමිනි.

මැතිව්ස් ගේ දැවී යෑමෙන් පසුව අවසන් පිතිකරුවන් සමග ශ්‍රී ලංකා ඉනිම ලකුණු 300 සීමාව කරා රැගෙන ගිය ධනංජය ද සිල්වාගේ ඉනිම ලකුණු 47ක නොදැවුණු ඉනිමක් ලෙස සටහන් වූයේ මැට් හෙන්රි සහ ටිම් සවුති විසින් පසු පෙළ පිතිකරුවන් දඩයම් කිරීම හමුවේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා රැස් කරන ලද ලකුණු 355ට පිළිතුරු ලෙස පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 6 ලකුණු 188ක් තුළ බිඳ වැටුණ ද අවසන් කඩුලු 4 වෙනුවෙන් ඔවුහු පන්දුවාර 32ක් තුළ ලකුණු 185ක් රැස් කර ගත් හ.

එහිදී ඩැරිල් මිචෙල් ශතකයක් ලබා ගත් අතර මැට් හෙන්රි වේගවත් ලකුණු 72ක් රැස් රැස් කිරීම මත නවසීලන්තය ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 18ක වාසියක් සමග ලකුණු 373ක් රැස් කළේය.

ශ්‍රී ලංකා දෙවෙනි ඉනිමේ පන්දු යැවීමේ දී බ්ලෙයර් තික්නර් ලකුණු 100කට කඩුලු 4ක්, මැට් හෙන්රි ලකුණු 71කට කඩුළු 03ක්, ටිම් සවුති ලකුණු 57ට කඩුළු 02ක්, දවා ගත්තේය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා පළමු ඉනිම 355

කුසල් මෙන්ඩිස් ලකුණු 87, දිමුත් කරුණාරත්න ලකුණු 50, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47, ධනංජය ද සිල්වා ලකුණු 46, දිනේෂ් චන්දිමාල් ලකුණු 39

ටිම් සවුති ලකුණු 64ට කඩුළු 05, මැට් හෙන්රි ලකුණු 80කට කඩුළු 4

නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම ලකුණු 373

ඩැරල් මිචෙල් 102,මැට් හෙන්රි 72, ටොම් ලැතම් ලකුණු 67, නීල් වැග්නර් 27

ලහිරු කුමාර ලකුණු 76ට කඩුලු 03, අසිත ප්‍රනාන්දු ලකුණු 85ට කඩුළු 04, කසුන් රාජිත ලකුණු 104ට කඩුලු 02

නවසීලන්තය දෙවෙනි ඉනිම 28/1

කසුන් රාජිත ලකුණු 05ට කඩුලු 1

advertistmentadvertistment
advertistmentadvertistment