මැතිව්ස්ගේ සියයට සිහිවටනයක් දෙන්න ශ්‍රී ලංකාව හෙට සටනට

232

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් සහභාගි වන සිය සියවන ටෙස්ට් තරගය හෙට ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පසුගිය තරගයෙන් පසු ප්‍රකාශ කළේ සිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා සඳහා වටිනා සිහිවටනයක් මෙම තරගයේදී ලබාදීම සඳහා කණ්ඩායම කටයුතු කරන බවයි.

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වීමට කලින් සැලසුම් යොදා තිබුණ ද කොළඹ අවට පවතින වාතාවරණය යහපත් නොවීම හේතුවෙන් දෙවෙනි තරගය ද ගාලු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සිදු කෙරිණි.

ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගයෙන් පරාජයට පත්වීම නිසා තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට නම් හෙට ඇරඹෙන තරගය අනිවාර්යයෙන් ජයග්‍රහණය කළ යුතුය.

පෙර තරගයට ක්‍රීඩා කළ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ආබාධයක් හේතුවෙන් දෙවැනි තරගයට ක්‍රීඩා නොකරන අතර ඒ වෙනුවට තවමත් ටෙස්ට් වරම් ලබාගෙන නොමැති ලක්ෂිත මනසිංහ කණ්ඩායමට කැඳවා තිබේ. එසේම පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මෙම තරගය සඳහා කැඳවා ඇති අතර ඔහුව පසු ගියදා ටෙස්ට් සංචිතයෙන් ද නිදහස් කර තිබුණි. පැතුම් නැවත ටෙස්ට් සංචිතයට කැදවීම පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ වෙනසක් සිදු විය හැකි බව පෙන්නුම් කරන ලක්ෂණක් වී ඇත.

පළමු තරගයේ ලද ජයග්‍රහණයත් සමඟ සංචාරක ක්‍රීඩකයන් ජයග්‍රාහි මානසිකත්වයකින් යුතුව මෙම තරගයට සහභාගි වීම ශ්‍රී ලංකාව පැත්තෙන් අවාසිදායක තත්ත්වයක් වන අතර ඒ බව අවබෝධ කර ගෙන තරගයට මුහුණ දීම දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීම වේ. මේ අතර පකිස්තාන කණ්ඩායමේ ප්‍රබල වේග පන්දු යවන්නා වන ශහින් ෂා අෆ්රිඩි ආබාධයක් හේතුවෙන් මෙම තරගයට සහභාගි නොවේ.

හෙට තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය

දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ලක්ෂිත මනසිංහ, කසුන් රාජිත

පකිස්තාන කණ්ඩයම

ඉමාම් උල් හක්, අබ්දුල්ලා ශාෆීක්, අසාර් අලි, බාබර් අසාම්, නවාඩ් අලාම්, මොහමඩ් රිස්වාන්, ෆහීම් අස්රෆ්, යසීර් ෂා, අගා සල්මන්, නසීම් ෂා, නමාන් අලි

advertistmentadvertistment
advertistmentadvertistment