මැති ඇමැති 56 කගෙන් රජයට ලක්‍ෂ 36ක නිල නිවාස කුලී පොල්ලක්

30

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් පාලනය වන රජයේ බංගලා, සංචාරක බංගලා සහ නිල නිවාසවලින් රුපියල් පන්කෝටි අනූඑක්ලක්ෂ හතළිස් දෙදහස් තුන්සිය හතළිස් අටක හිග කුලී මුදලක් (59,142,348) ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් 31 වනවිට අයවිය යුතුව ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

විගණන වාර්තාවට අනුව ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් 56 දෙනකුගෙන් රුපියල් තිස්හයලක්ෂ අසූහත්දහස් තුන්සියහැටක හිඟ කුලී මුදලක් (3,687,360) අයවීමට තිබුණි. මෙම හිඟ කුලී මුදල් අතර 2015 වර්ෂයේ සිට පැවත එන රුපියල් දහතුන්ලක්ෂ හැටඅටදහස් නවසිය විසිඑකක (1,368,921) හිඟ කුලී මුදල් ද අයත් බව විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම සමුළු නිවාස 35කින් ඉකුත් වර්ෂයේ දෙසැම්බර් 31 දින වනවිට රුපියල් රුපියල් විසිදෙලක්ෂ අනුදෙදහස් හත්සිය දෙකක (2,292,702) මුදලක් තවදුරටත් අය විය යුතුව තිබුණි. මෙකී මුදල් අතුරින් රුපියල් විසිලක්ෂ විසිපන්දහස් අටසිය එකක මුදලක් (2,025,801) 2012 සිට 2022 දක්වා කාලසීමාවට අදාළව තවදුරටත් අය නොවී පැවති හිග ශේෂ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම මෙකී නිවාසවල 2012 සිට 2021 දක්වා පදිංචිව සිටි නිලධාරින් 18 දෙනකුගෙන් අයවිය යුතුව පැවති මුදලින් රුපියල් අසූහත් ලක්ෂ අනූදහස් හාරසිය අනූවක් (8,790,490) අය කරගෙන නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි. එමෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත වෙන්කර දී තිබූ බංගලාවකින් 2012 වර්ෂයේ සිට රුපියල් දෙකෝටි අසූපන්ලක්ෂ හැටහත්දහස් හාරසිය හැත්තෑවක් (28,567,470) අයවීමට තිබුණි.

නිධන්ගත වකුගඩු රෝග වැළැක්වීමේ පර්යේෂණ ලේකම් කාර්යාලයට ලබා දී තිබූ නිවාසයකින් 2015 වසරේ සිට රුපියල් හතළිස්හත්ලක්ෂ අනූඅටදහස්, තුන්සිය අසූහතක් (4,798,387) අයවීමට තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ඉකුත් වර්ෂයේ දෙසැම්බර් 31 වනවිට ගොඩනැගිලි හිග කුලී මුදල් වශයෙන් රුපියල් තිස්තුන් කෝටි විසිහත්ලක්ෂ විසිහතරදහස් හයසිය විසිනවයක් (332,724,629) අයවීමට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ගාල්ල- ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment