මැති ඇමැතීන්ගේ වංචා දූෂණ වැසීමෙන් රට අරාජික වුණා

359
  • පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් කියයි

මැති ඇමැතිවරුන් වංචා, දූෂණ සිදුකරන බව වසරකටත් පෙර ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පෙන්වා දුන්නත් ඊට නිසි පියවරක් නොගත් නිසා රට අරාජික තත්ත්වයට පත්වූවා යැයි පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ඊයේ (07 දා) පැවසීය. එවැනි පිරිස් සමග තවදුරටත් ඉදිරි ගමනක් නැති බව ද ඒ මහතා කියා සිටියේය.

මැති ඇමැතිවරුන්ට ලබාදෙන ඩියුටි ෆී‍්‍ර වාහන බලපත‍්‍රය ලක්ෂ 300ට 400ට විකුණා අමාත්‍යාංශවලට සුඛෝපභෝගි වාහන මිලදී ගෙන ඒවා මැති ඇමැතිවරුන් පරිහරණය කරන තත්ත්වය ද නැති කළ යුතු යැයි ද ඊයේ (07 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී තුෂාන් ගුණවර්ධන මහතා කියා සිටියේය.

ලක්ෂ 69ක ජනවරමකින් පත් කරගත් ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස ප‍්‍රකාශ කරන්නේ 69 ලක්ෂයටත් අධික පිරිසක් බවත් එම නිසා මහජන හඬට කන්දී වහාම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත් වී සියලූ පක්ෂවල එකඟතාව මත අන්තර්වාර පාලනයක් යටතේ රට කරගෙන යෑමට ලබාදිය යුතු බවත් ඒ මහතා කීය.

දැනට ප‍්‍රධාන නගර ආශි‍්‍රතව ජනතා විරෝධතා ඇති වුව ද එය ගම් මට්ටමට ව්‍යාප්ත වී එම පිරිස කොළඹට පැමිණෙන තෙක් නොසිට වහාම ආණ්ඩුව ගෙදර යා යුතු බව පැවසූ ඒ මහතා එසේ වුවහොත් පොලිසිය, හමුදාව ලවා එය පාලනය කරගත නොහැකි බව ද අවධාරණය කළේය.

චමින්ද සිල්වා, ඡායාරූප – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment