මැති සබයේ වැඩිම කලක් නියෝජ්‍ය කථානායක පදවිය දැරූ නෝමන් වෛද්‍යරත්න

205

(ලංකා පාර්ලිමේන්තුවේ වැඩිම කාලයක් නියෝජ්‍ය කථානායක පදවිය හා කාරක සභා සභාපති ධුරය හෙබවූ බළපිටිය හිටපු මන්තී‍්‍ර අධිනීතිඥ නෝමන් වෛද්‍යරත්න මහතා දිවංගතවී හෙටට (පෙබරවාරි 27 දාට) වසර 28 ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායක ජේ. ආර්. ජයවර්ධන මහතා 1977 මහ මැතිවරණය සඳහා තම පක්ෂයේ අපේක්ෂකයන් තෝරා ගත්තේ බොහෝ කරුණු කාරණා පිළිබඳව අධීක්ෂණයකින් පසුවය. ඒ අනුව බළපිටිය මැතිවරණ කොට්ඨාසයට අපේක්ෂකයකු තෝරා ගැනීමේදි ජේ.ආර්. ජයවර්ධන මහතා පෞද්ගලිකව අවධානය යොමු කළේ තම පක්ෂය වෙනුවෙන් අතීතයේ සුවිශේෂී කැපවීමක් කළ මහත්මයකු වෙනුවෙනි. ඔහු අධිනීතිඥවරයකු වශයෙන් බළපිටිය අධිකරණයේ සේවය කළ නෝමන් ජේම්ස් වෛද්‍යරත්න මහතාය.

1970 වසරේ පැවැති මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් බළපිටියට තරග කළේ එජාප ජාතික රජයේ සභානායක පදවිය දැරූ මහවැලි ව්‍යාපාරයේ නිර්මාතෘ සී.පී. ද සිල්වා මහතාගේ සොහොයුරියගේ ස්වාමි පුරුෂයා වූ එවකට ලං.ග.ම සභාපති පදවිය දැරූ ඉඩම් හිමි වැවිලිකරුවකු වූ ආර්. ටී. ද සිල්වා මහතාය. ඡුන්දයෙන් පරාජයට පත්වූ ආර්.ටී. ද සිල්වා මහතා සී.පී. ද සිල්වා මහතාගේ අභාවයෙන් ටික කලකට පසු මිය යෑම නිසා බළපිටිය එ.ජා.ප සංවිධායක තනතුර පුරප්පාඩු විය. මේ අනුව බළපිටියට නව සංවිධායකවරයකු පත් කිරීමට ජයවර්ධන මහතාට වුවමනාකම තිබුණි. දිනක් කොළඹ ප‍්‍රදේශයේ මළගෙදරකට ගිය ජේ.ආර්. ජයවර්ධන මහතාට බළපිටියේ හිටපු මන්ත‍්‍රිවරයකු වූ ආර්. ලක්ෂ්මන් ද සිල්වා මහතා හමු විය. ඔහු ද සී.පී. ද සිල්වා හිටපු ඇමැතිවරයාගේ ඥාතියකු වූ අතර 1960 සිට 1970 දක්වා වරින් වර බළපිටියේ මන්ත‍්‍රි ධුරය

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද එක්සත් ජාතික පක්ෂයෙන්ද ඉදිරිපත් වී ජයගෙන මන්ත‍්‍රිවරයකු වූ අයෙකි. ලක්ෂ්මන් ද සිල්වාට කතා කළ ජේ.ආර්. ජයවර්ධන මහතා බළපිටිය භාරගෙන සංවිධානය කිරීමට එකතු වන ලෙස ඉල්ලා සිටියේ අනාගත එ.ජා.ප රජයක සුවිශේෂී

වගකීමක් පවරන බවට ඉඟි කරමිනි. ජේ.ආර්. ගේ ඉල්ලීම භාරගත් ලක්ෂ්මන්ට ජේ.ආර්. හමුවීමට දිනයක් ද එදිනම ලබා දුන්නේය.

ජයවර්ධන මහතා හමුවීමට යෑම සඳහා කොළඹට ගොස් එම නිවසට පයින් යන විට ලක්ෂ්මන් අසල වාහනයක් නැවතුනි. වීදුරුව පාත්කර ලක්ෂ්මන්ට කතා කළේ එවකට පැවති ශ‍්‍රී.ල.නි.ප රජයේ ඇමැතිවරයකු වූ මුල්කිරිගල මන්ත‍්‍රි ජෝර්ජ් රාජපක්ෂ ය. මේ කොහේ පයින් යනවාදැයි ජෝර්ජ් තම මිත‍්‍රයාගෙන් විමසීය. තමා ජේ.ආර්. හමුවීමට යන බවත් බළපිටියේ එ.ජා.ප සංවිධායක ධුරය ලබා ගැනීම අරමුණ බවද කීය. උඹට පිස්සුද? ලක්ෂ්මන්. කවද්ද ජේ.ආර්. ට ආණ්ඩුවක් පිහිටුවන්න ලැබෙන්නෙ. ඊළඟටත් අප තමයි දිනන්නේ.

උඹ ශ‍්‍රී ලංකා කාරයනේ නැගපන් කාර් එකට මැතිනි ළඟට ගිහිල්ලා අදම බළපිටියේ ශ‍්‍රී ලංකා සංවිධායකකම අරගෙන දෙන්න. ජෝර්ජ්ගේ පෙරැත්ත නිසා ලක්ෂ්මන් මැතිනිය හමුවී එදිනම බළපිටිය සංවිධායක වූයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම් කරට ගනිමිනි. පුවත ඇසීමෙන් කලබල නොවුණ ජේ.ආර්. බළපිටිය එ.ජා.ප සංවිධායක ධුරයට කිසිවකු පත් නොකර හිස්ව තබා ගත්තේය. මේ අතර බළපිටිය සංවිධායක ධුරය ඉල්ලා දහහතර දෙනෙක්ම ඉදිරිපත් වෙමින් විටින් විට ජේ.ආර්. ජයවර්ධන මහතා හමුවිය. මෙම අයගෙන් බොහෝ දෙනෙකු අධිනීතිඥවරයන් වූ අතර ඇතමුන් ඉඩම් හිමි වැවිලිකරුවන්ය. සමහරුන් වලව්කාරයන්ය. සියලූ දෙනාම ගැන අවධානයෙන් සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා මෙම අපේක්ෂකයන්ගෙන් අවසානයට අසන ප‍්‍රශ්නයක් විය. බළපිටියෙ සංවිධායකකම ඔබට නොලැබී ගොස් මම ඒ සඳහා පත් කරන අයෙකුට ඔබේ සහයෝගය ලබා දෙනවාද? බොහෝ අය එයට කැමති වුණත් දෙතුන් දෙනෙකු එයට එකඟ නොවී කල්පනා කර බලන්නට වුවමනා බව පැවසුවේ දෙගිඩියාවෙනි. දිනක් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නිවසට කැඳවූයේ අධිනීතිඥ නෝමන් වෛද්‍යරත්න මහතාය. බළපිටිය ආසනයේ සංවිධායක ධුරය තවම හිස්ව තිබෙනවා. බළපිටිය ලංකාවේ පැරණිම ඡුන්ද කොට්ඨාසයක් එය වමට බරයි. නමුත් අප පක්ෂය ආරම්භ කරන විට පෙරමුණ ගත් අය කිහිප දෙනෙක්ම බළපිටියේ අය. සමසමාජ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආරම්භ කරන විටත් බළපිටියේ නායකයෝ පෙරමුණේ සිටිය. ඉදිරි මැතිවරණයකදී බළපිටිය යූ.එන්.පිය දිනවන්න ඕන. ඔබට පුළුවන් ඒ වගකීම ගන්න. බළපිටියේ එ.ජා.ප සංවිධායක පදවිය ඔබ භාරගන්න. මේ තනතුර බොහෝ අය ඉල්ලනවිට මම ඔබට මේ වගකීම කතා කරල භාර දෙන්නේ කෘතගුණයක් සලකන්න. ජේ.ආර්. වෛද්‍යරත්න මහතාට පැවසීය.

1977 මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලද නෝමන් වෛද්‍යරත්න මහතා බළපිටියේ මන්ත‍්‍රීවරයා වශයෙන් ජාතික රාජ්‍ය සභාවට පත්වූයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ බෑණනුවන් වූ ලංකා සමසමජ පක්ෂයෙන් තරග කළ පී.ඩී. වීරසිංහද සිල්වා මන්ත‍්‍රිවරයා පරාජයට පත් කරමිනි. 1978 වසරේ සැප්තැම්බර් 23 වෙනි දින ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක හා කාරක සභා සභාපති පදවියෙන් පුද ලද නෝමන් වෛද්‍යරත්න මහතා 1989 දක්වා වසර 11 කට ආසන්න කාලයක් අඛණ්ඩව නියෝජ්‍ය කථානායක පදවිය දැරුවේ ලංකාවේ පමණක් නොව ලෝකයේම වාර්තාවක් තබමිනි.

1982 දී විවෘත කළ ශ‍්‍රී ජයවර්ධනපුර නව පාර්ලිමේන්තුවේ කටයුතු කළ ප‍්‍රථම නියෝජ්‍ය කථානායකවරයා ද නෝමන් වෛද්‍යරත්න මහතාය.

බළපිටිය මන්ත‍්‍රීවරයා වශයෙන් වසර 12 කට ආසන්න කාලයක් සේවය කළ වෛද්‍යරත්න මහතා බළපිටිය අධිකරණය වෙත මහාධිකරණයක් ද ලබා දුන්නේ තමා සේවය කළ ස්ථානයට සිදුකරන ගෞරවයක් ලෙසය. බළපිටිය ජනතාවගේ දූ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා මධ්‍ය මහා විද්‍යාල දෙකක් ලබා දුන් අතර අගමැති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ සහයෝගය ඇතිව අගමැති තුමාගේ පියාගේ උපන්ගම වූ කොස්ගොඩ පියගම උදා ගම්මානය බිහි කිරීමට වෛද්‍යරත්න මහතා මූලික වී කටයුතු කළ අතර තවත් උදාගමක් අහුන්ගල්ලේ බිහි කළේ පතිරාජගම ලෙසය.

වෛද්‍යරත්න මහතාට ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා විසින් ඊජිප්තුවේ තානාපති පදවිය පිරිනැමීය. 1990 සිට 1994 දක්වා එම තනතුර දැරූ වෛද්‍යරත්න මහතා සිය රාජ්‍ය තාන්ත‍්‍රික මෙහෙවර සිදු කරන සමයේම හදිසියේ රෝගාතුර වී 1994 පෙබරවාරි 27 වැනි දින සිය ජීවිතයේ 74 වැනි විය එළඹි දින කිහිපයකින් ඊජිප්තුවේ කයිරෝ නුවරදි අභාවප‍්‍රාප්ත වූයේ මේ රටේ විසූ තවත් මහත්මා දේශපාලනඥයකු රටම අහිමි කරමිනි. නෝමන් වෛද්‍යරත්න මහතා දිවංගත වී වසර 28 ක් සපිරෙන මෙම අවස්ථාවේදී එතුමාගේ නාමය සිහිපත් කරනුයේ කෘතගුණ පූර්වකව පිදිය යුත්තෙකුට සිදුකරන ගෞරවයක් ලෙස සලකාය.

වජිර අබේවර්ධන
හිටපු අමාත්‍ය, සභාපති- එක්සත් ජාතික පක්ෂය

advertistmentadvertistment
advertistmentadvertistment