මැදපෙරදිග සලෙළුන්ට කතුන් විකිණූ ජාවාරමේ තවත් රහස් වැලක් එළියට

696

ඕමාන් සහ ඩුබායි රාජ්‍යයන් වෙත මිනිස් ජාවාරම් සිදුකළ බවට චෝදනා එල්ල කරමින් කටුනායකදී අත්අඩංගුවට ගත් සැකකරු සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන විදේශ රැකියා නියෝජිත ආයතනයක උප නියෝජිතයකුද පෙරේදා (19දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඕමාන් සහ ඩුබායි රාජ්‍යයන් වෙත මිනිස් ජාවාරම සිදුකළ බවට චෝදනා එල්ල වී තිබූ මොහොමඩ් රිස්වාන් නමැති සැකකරු අබුඩාබි සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු හතළිස් හතර හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා ගැන පොලිසියට ලැබුණු පැමිණිලි මත ඔහු සමඟ සමීප සබඳතා පැවැත්වූ බාලක්‍රිෂ්ණන් කුගනේෂ්වරන් නමැති උප නියෝජිතයාද අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා කාන්තාවන් රැගෙන ගොස් ඔවුන් බලහත්කාරයෙන් වෙනත් රැකියාවල යෙදවූ බවට මෙම පුද්ගලයාටද චෝදනා එල්ල වී ඇත. මෙම සැකකරුට එරෙහිව හැටන් ප්‍රදේශයේ කාන්තාවක විසින්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ. මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඊයේ (20දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කටුනායකදී අත්අඩංගුවට ගත් 44 හැවිරිදි මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉන්ෆාස් නමැති මෙම පුද්ගලයා ජනාධිපති ලේකම් කාර්යාලයේ තුන්වන ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් මෙම මිනිස් ජාවාරම මෙහෙයවා ඇති අතර මොහු වත්තල සහ දෙහිවල පල්ලිය දොර පාරේ පිහිටි නිවාස දෙකක බිරියන් දෙදෙනකු සමඟ වාසය කරමින් සිටින බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු කපිල කරුණාරත්න මහතා පැවැසීය.

මොහු අත්අඩංගුවට ගැනීමට කීප අවස්ථාවකම මෙම ලිපිනයන්හි පිහිටි ඔහුගේ නිවෙස් වෙත ගියද, ඔහු ඒ වනවිටත් විදේශ ගතවී සිටි බැවින් අත්අඩංගුවට ගැනීමට නොහැකිවූ බවද කපිල කරුණාරත්න මහතා පැවැසීය. මොහු විසින් කොළඹ මරදාන ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන යනු ලබන විදේශ රැකියා නියෝජිත ආයතනයන්ගෙන් සහ තවත් රට පුරා පිහිටි විදේශ රැකියා ආයතන කීපයකින් මෙම කාන්තා මිනිස් ජාවාරම සඳහා ළාබාල තරුණියන් ඕමානය වෙත ගෙන්වා ගෙන තිබූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අබුඩාබි, ඩුබායි ඇතුළු තවත් මැදපෙරදිග රටවල නගර වෙත ගුවන් මගින් සංචාරක වීසා මත ගෙන්වා ගන්නා මෙම ශ්‍රී ලාංකික ළාබාල සුරූපී තරුණියන්, දේශසීමාව තරණය කරමින් බස් රථ මගින් ඕමානය වෙත ගෙන්වා ගෙන, එරට ප්‍රසිද්ධ වෙන්දේසියේ රුපියල් ලක්‍ෂ දහයේ සිට ලක්‍ෂ විසිපහ දක්වා මුදලකට, ගණිකා වෘත්තියේ නියැලීමට සහ වෙනත් අකටයුතුකම් සඳහා අලෙවි කිරීම සිදුකර තිබේ.

මේ පිළිබඳව පැමිණිලි 08 ක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත ලැබී තිබූ අතර, ඒ පිළිබඳව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව, මෙම ප්‍රධාන සැකකරු ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් සිටින පළමු අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නියෝග කර තිබුණි.

මෙම විමර්ශනයට අමතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ද මේ පිළිබඳව ඕමානය වෙත ගොස් විමර්ශනයක් සිදුකර තිබුණි. මේ වනවිට අබුඩාබි, ඩුබායි සහ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලට අනුබද්ධිතව පවත්වාගෙන යනු ලබන රැඳවුම් මධ්‍යස්ථානවල මෙම සිදුවීම් වලට ගොදුරුවූ තරුණියන් විශාල පිරිසක් රඳවා තබාගෙන සිටින අතර, ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමෙන් පසුව, මොහුට එරෙහිව තවත් පැමිණිලි රාශියක් ගොනු කිරීමටද බලාපොරොත්තු වන බව කපිල කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

මෙම ප්‍රධාන සැකකරු 11/19 දින අලුයම 12.55 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්. ඉසෙඩ් 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි. මොහු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පැමිණ භාර ගන්නා තෙක් කටුනායක ගුවන්තොටුපළ පොලිසිය තුළ ආරක්‍ෂිතව රඳවා තැබීමට පියවර ගෙන තිබුණි.

මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් ඕමානය සහ අබුඩාබි වෙත රැකියා සඳහා කතුන් යොමු කරන ලදැයි කියන සිද්ධීන්වලට අදාළව කටුනායකදී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පෙරේදා (19දා) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ මොහොමඩ් රිස්වි මොහොමඩ් රිස්වාන් නමැත්තෙකි.

ඕමානයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන්ට සිදුවන හිරිහැර, අකටයුතුකම් ගැන මාධ්‍ය මගින් ද හෙළිකර තිබුණි. මේ ගැන විමර්ශනය කිරීමෙන් පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබූ අතර විදෙස් ගත කළ කාන්තාවන් එරටදී ගණිකා සේවයේ යොදවා ඇති බවද එහිදී හෙළිවී තිබුණි.

ගුවන්තොටුපළ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු කටුනායක පොලිසියට භාරදීමෙන් පසුව කටුනායක පොලිසිය, කටුනායක 18 කණුව ප්‍රදේශයේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලය වෙත රැගෙන යනු ලැබිණි.

මෙහිදී මාධ්‍යවේදීන් ශ්‍රී ලාංකික කාන්තාවන්ට ඇයි ඔය ගොල්ලෝ මෙහෙම කරන්නේ? යනුවෙන් විමසූ අවස්ථාවේ සැකකරු මෙසේ පැවැසීය.

කාන්තාවන් 20 ක් රටට එක්ක ගෙන ඇවිත් තියෙනවා. එයාලගෙන් අහගන්න. එයාලා ඇත්ත කියයි. එයාලා තාම ගෙවල්වලටවත් ගිහිල්ලා නැහැ. මාව බේරන්න එයාලා ඇවිත් ඉන්නවා. එයාලගෙන් අහන්න. මං කියන එකට වඩා ඒ අය කියන එක හොඳයිනේ. මම ඒ අයට වරදක් කරලා නැහැ. ඒ ගොල්ලන්ගෙන්ම අහගන්න.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ඔහුගේ රැකියා නියෝජිත බලපත්‍රයද කල් ඉකුත්වී තිබියදී සංචාරක වීසා මත ඔහු කාන්තාවන් ඕමාන් රාජ්‍යයට පිටත් කර යවා ඇති බවයි. අනතුරුව කාන්තාවන් ගණිකා සේවයට යොමුකර ශ්‍රම සූරාකෑමකට ලක්කර තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු ඩුබාහි හි රැඳී සිටිමින් සංචාරක වීසා මත වෙනත් විදේශ රැකියා ආයතන විසින් එවන ලද ලාංකික කාන්තාවන් දේශසීමා උල්ලංඝනය කරමින් ඕමානයට රැගෙන යාම කලක සිට සිදුකර ඇති බව හෙළිවී තිබේ.

මේ අතර සැකකරු සමඟ මෙරටට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවන් 19 දෙනකුද පෙරේදා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය අසලට පැමිණ මාධ්‍ය වෙත අදහස් පළ කළහ.

“මේ 19 දෙනාම සර් තමයි සල්ලි දීලා ප්ලයිට් එකෙන් ලංකාවට ගෙනාවේ. සර් නිර්දෝෂයි. සර්ගේ දූෂණ චෝදනා කිසිම දෙයක් නැහැ. සර් අපිට කන්න බොන්න ඔක්කොම දුන්නා.”

මේ අතර, රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරු හා මිනිස් වෙළෙඳාමේ නිරත තවත් පුද්ගලයන් කීපදෙනෙකුට එරෙහිව ජනප්‍රිය ගායන ශිල්පි දුෂ්‍යන්තන් වීරමන් මහතාද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.

දුෂ්‍යන්තන් වීරමන් මහතාගේ නිවසේ කලක් සේවය කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් සැකකරුගේ නීති විරෝධී ක්‍රියා නිසා මුහුණදුන් අත්දැකීම් මෙලෙස පැහැදිලි කළාය.

ඕමාන් වලට මාව යවනවා කියලයි කිව්වේ. පාස්පෝට් එක සර් කෙනෙක්ට දුන්නා. එයාර්පෝට් එකේදී ඇතුල්වෙන තැන තමයි පාස්පෝට් එකයි වීසා එකයි ඔක්කොම අතට නමලා දුන්නේ. බලන්නවත් වෙලාවක් තිබ්බේ නැහැ. ඇතුළට යනකොට ලංකාවේ කට්ටිය 11 දෙනෙක් එතැන හිටියා. ඒ ගොල්ලෝ ‘අයියෝ ඔයගොල්ලොත් මෙහෙ ඇවිල්ලා අහුවුණාද?’ කියලා ඇහුවාම මම ඇඬුවා.

මෙහිදී කරදරයට පත්වූ කාන්තාවෝ පිරිසක්ද අදහස් දැක්වූහ.

කවුරුවත් නැහැ. අම්මා විතරයි ඉන්නේ. මගේ තාත්තා නැතිවෙලා. මෙහේ ඉන්න සර්ලා වගේ අකාරුණික මිනිස්සු හිටියොත් අපි වගේ අහිංසක ළමයින්ට ලංකාවට යන්න බැහැ.

කරදරයට පත් තවත් ශ්‍රී ලාංකික කාන්තාවක්

මට ලංකාවට යන්න ලක්‍ෂ 13 ක් ගෙවන්නලු. අනේ සර් සතපහක්වත් ගෙවන්න මගේ අතේ සල්ලි නැහැ. අපි කියන්නේ අපිව ලංකාවට යවන්න කියලයි. මේ සර්ලා සේරම සිද්ධි යටගහනවා. දූෂණයට ලක්වෙච්ච කෙල්ලො ගොඩක් ඉන්නවා. මේ ගැන බලධාරීන් අවධානය යොමුකරන්න. මෙහෙම වෙන්න දෙන්න බැහැ.

මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පනත උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස පුද්ගලයන් විදේශ ගතකරන පුද්ගලයන් සහ මිනිස් වෙළෙඳාම සහ මිනිස් ජාවාරම සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කරන මෙහෙයුම් දැඩි කරන ලෙසට කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා විසින් උපදෙස් දී ඇත.

මේ සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා සමඟ සාකච්ඡා කළ බවත් මෙම මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක කරන බවත් මනුෂ නානායක්කාර ඇමැතිවරයා පැවැසීය.

කටුනායක පොලිසිය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවකු අබුඩාබි සිට මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බවත් මෙම පුද්ගලයාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මිනිස් වෙළෙඳාමට සම්බන්ධ චෝදනා යටතේ පරීක්‍ෂණ ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා කීය. මේ ආකාරයෙන් චෝදනා එල්ලවී ඇත පිරිස්ද ඉදිරියේදී අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

චමින්ද සිල්වා, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ප්‍රභාත් විතාන, ටී. කේ. ජී. කපිල – කටුනායක, මීගමුවේ විමල් කිර්ති

advertistmentadvertistment
advertistmentadvertistment