මැදිරිගිරිය ආශාවරීට ප්‍රසංග තහංචියක් !

424

අම්මලා තාත්තලා කුලී වැඩ කරලා දුන්න සල්ලිවලින් තමයි මුල්ම වීඩියෝ එක දැම්මේ

ප්‍රසංග වේදිකාවේ වැඩ පෙන්වන ලස්සන පුංචි කෙල්ලො ටික මේ දවස්වල ලංකාවේ හරි ජනප්‍රියයි. පුංචි වුණාට මේ දැරිවියෝ රටේ ප්‍රසිද්ධ ගායක ගායිකාවන් වගේම ප්‍රසිද්ධම සංගීත කණ්ඩායම් එක්ක පවා හරි හරියට සංගීතයෙන් හැප්පෙනවා. මැදිරිගිරිය ආශාවරී තමයි මේ බෑන්ඩ් එකේ නම. මේ සංගීත කණ්ඩායම නිර්මාණය කරන්නේ සංගීතය තමන්ගේ විෂය කර නොගත් පොළොන්නරුව, මැදිරිගිරිය ජාතික පාසලේ සිංහල විෂය භාර එස්. ජී. නාලක ජයලත් ගුරුතුමා. ඔහු තමයි ආශාවරී සංගීත කණ්ඩායමේ හිමිකරුවා.

මේ සංගීත කණ්ඩායමට පසුගිය සතියේ ඉතාම අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ සිද්ධිය මුල්කරගෙන සමාජ මාධ්‍ය මගින් අපේ රටේ ළමාරක්ෂක අධිකාරියට පොලිසියට වගේම විවිධ පාර්ශ්වවලට දොස් නඟන්න පටන් ගත්තා. ඇත්තටම මෙතැන මොකක්ද සිද්ධ වුණේ. දැන් ආශාවරී නවත්වලද? ඒ සියල්ලට පිළිතුරු සොයන්න වගේම ‘මැදිරිගිරිය ආශාවරී’ සංගීත කණ්ඩායම හැදුණේ කොහොමද කියලත් රටටම කියන්න හිතාගෙන අපි මැදිරිගිරිය ජාතික පාසලේ සිංහල විෂය භාර ආචාර්යවරයා වන නාලක ජයලත් ගුරුතුමාව ඇමතුමා.

මැදිරිගිරිය ආශාවරීට ප්‍රසංග තහංචියක් !

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රසංග සංවිධානය කරන සංවිධායකවරුන්ට අපේ සංගීත කණ්ඩායමේ නම සඳහන් කළහම අවසර පත්‍රය ලබාගන්නත් හරිම අමාරුයි. ඉහළ නිලධාරීන්ගේ මොකක් හරි ගැටලුවක් තිබෙනවා. ඔවුන් තමයි ළමා හා කාන්තා කාර්යාංශයට වගේම පරිවාසයට පවා කතා කරලා තහනම් කරන්න කියලා තියෙන්නේ.

ඇත්තටම මේ ප්‍රශ්නය ඇති වුණ වෙලාවේ රටම නැගිට්ටා. ප්‍රසංග සංවිධායකවරු, සංගීත කණ්ඩායම්, කලාකරුවන් වගේම අපිට අතහිත දුන් සියලු දෙනා එකාවන්ව නැගිටලා කතා කළා. ළමා හා කාන්තා කාර්යාංශය භාරව ඉන්න ගීතා කුමාරසිංහ මහත්මිය පවා මේ ප්‍රශ්නය ගැන අවබෝධයෙන් කටයුතු කරලා අපිට වුණේ අසාධාරණයක් කියලත් කියලා තිබුණා.

ඒ ගොල්ලෝ අපිට නඟන්නේ අවු. 16 ට අඩු ළමයි ප්‍රසංගවලට සහභාගි කරවා ගන්නවා කියන චෝදනාව. ඊළඟට මුදල් අය කරනවා කියන චෝදනාව. අපි පොළොන්නරුවේ,

මැදිරිගිරියේ කොළඹ ගියොත් අපිට කවුරුවත් සල්ලි දෙන්නේ නැහැනේ. දහදෙනෙක් කඩයකින් කෑවහම රුපියල් හත්අටදහසක බිලක් එනවා. අපිට වාහනයක් නැහැ. ඔය කතා කරන නිලධාරීන් අපිට ඒවා ලබා දෙන්නේ නැහැනේ. මම කියන්නේ එහෙනම් අපිට ප්‍රසංග වේදිකාවක් හදලා දෙන්න කියලයි.

එතකොට ළමා චිත්‍රපට කියන දේවලුත් කරන්න බැහැනේ. මොන දේ වුණත් මේ වෙලාවේ විද්‍යුත් මාධ්‍ය අපිට වුණ අසාධාරණය ගැන කතා කළා. මොන ප්‍රශ්න ආවත් ආශාවරී නවත්වන්නේ නැහැ.

මේක යට කිසිම සංගීත කණ්ඩායමක් නැහැ. රජයේ නිලධාරියෙක් තමයි මේක කරන්නේ. ගමේ කවුරුවත් මේකට පෙත්සම් ගහලා නැහැ. මේ තියෙන ආර්ථිකයත් එක්ක අපිට කවුද උදව් කරන්නේ. අපේ දරුවන්ගේ ඇඳුම් පැළඳුම්, සපත්තු වගේ දේවල් අපිට එපායැ. ඒවා කවුද දෙන්නේ.

මේ දරුවන්ගේ දෙමාපියන් දුප්පත්. ඇත්තටම මමත් රස්සාවක් කළත් දුප්පත්. මගේ තාත්තාත් වින්කලයක් කරන්නේ.

මහින්ද මහා විද්‍යාලයෙයි මැදිරිගිරිය ජාතික පාසලෙයි දරුවෝ තමයි මේකට ඉන්නේ. පාසල් දෙකේම විදුහල්පතිවරුන් ගෙන් විරෝධයක් නැහැ. පන්ති භාර ගුරුවරු පවා මේ දරුවන්ගේ හැකියාවන්ට ආදරෙයි. ඇත්තටම ආශාවරීලාගේ හයියට රටම හිටියා කියලා තමයි දැනුණේ. මේක මගේ විතරක් නෙමෙයි. රටේම සම්පතක්. ඒක රැක ගන්න රටම එකතු වුණා. මේ දරුවන්ගේ දෙමාපියෝ කිසිම කෙනකුට කට උත්තර දෙන්නේ නැහැ කියන තීරණයේ හිටියේ.

දෙමාපියන්ගේ කිසිම විරෝධයක් නැහැ.

මම මැදිරිගිරිය ජාතික පාසලේ උසස් පෙළට සහ සාමාන්‍ය පෙළ දරුවන්ට සිංහල විෂය උගන්වනවා.

ලංකාවට කොරෝනා ආපු මුල් කාලයේ අපි හැමෝම ගෙවල්වලට කොටු වුණානේ. ඉතින් මට ඔය කාලේ වෙනස් වැඩක් කරන්න හිතුණා. මම ඉස්කෝලේ සිංහල ඉගැන්නුවට සංගීතය මගේ ඇඟේ තියෙනවා. මට හැම සංගීත භාණ්ඩයක්ම වාදනය කරන්න පුළුවන්. ඉතින් මට හිතුණා අපේ රටේ ලාබාල දරුවෝ ටිකක් එකතු කරලා බෑන්ඩ් එකක් හදන්න. ඒ වැඩේට ගැහැණු ළමයි විතරක් ගත්තහම තවත් ටිකක් වෙනස් කියලා හිතුණා.

මම මුලින්ම අපේ ගමේ පොඩි දරුවෝ ඉන්න මගේ හිතවත් දෙමාපියන් එකක් කතා කළා. ඒ දවස්වල ඉස්කෝලේ නිවාඩු හින්දා තවත් ලේසි වුණා. මෙතැන ඉන්න කිසිම දරුවෙක් සංගීතය හදාරලා නැහැ. මම හදාගත්තු සංගීත භාණ්ඩවලින් තමයි ඔවුන්ට පුහුණුවීම් සිදු කළේ. මීට අවුරුදු විස්සකට කලින් ගැහැණු ළමයින්ගේ සංගීත කණ්ඩායමක් හැදුවා. ඒක අතරමඟ නැවතුණා. ආශාවරී බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් ගහන බබා ඉස්කෝලේ යන්නේ මැදිරිගිරියේ මහින්ද මහා විදුහලට. ඒ දුව ඉස්කෝලේ හය වසරේ. ඔක්ට පෑඩ් ගහන දුව හය වසරේ. මැදිරිගිරියේ ජාතික පාසලේ තමයි ඉගෙන ගන්නේ. ඕගන් ගහන දුව ඉස්කෝලේ අට වසරේ ලීඩ් ගහන දුව ඉස්කෝලේ හත වසරේ. ලීඩ් ගහන දුව ඉස්කෝලේ හත වසරේ. ඒ දුව මැදිරිගිරිය ජාතික පාසලට යන්නේ. බේස් ගහන දුව මැදිරිගිරිය මහින්ද මහා විදුහලේ හත වසරේ ඉගෙන ගන්නවා. මැදිරිගිරිය ජාතික පාසලේ හත වසරේ ඉගෙන ගන්නේ රිදම් ගිටාර් වාදනය කරන දුව. ගායිකාවක් විදිහට කටයුතු කරන ගයා දුව මැදිරිගිරිය ජාතික පාසලේ අට වසරේ ඉගෙනුම ලබනවා. නිවේදිකාවක් විදිහට කටයුතු කරන දුවට වයස අවුරුදු 16 ක් වෙනවා.

අපිට පුහුණුවීම් කරන්න තිබුණේ අවම පහසුකම්. ඩ්‍රම් එකක් හදාගත්තේ එක්ස්-රේ කොළ පාවිච්චි කරලා ඔක්ටපෑඩ් එක හැදුවේ බූලි කෑන්වලින්. මුලින්ම දරුවන්ට කළේ ස්වර ගැන අවබෝධයක් ලබාදීපු එක. වාසනාවට වගේ දරුවෝ මාස දෙකකින් විතර වැඩේ අල්ල ගත්තා.

මටත් පුංචි කාලේ මේ සියලුම සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන්. මම මුලින්ම කළේ මේ ගොල්ලන්ට තාලෙට අත්පුඩි ගහන්න පුළුවන්ද කියලා බලන එක. වැඩේ පටන් ගත්තහම ගොඩක් දෙනෙක් අපිට උදව් කළා. හිඟුරක්ගොඩ ස්ටුඩියෝ එකකට ගිහිල්ලා එක සින්දුවක් පුරුදු කරලා ඒක ෆේස්බුක් දැම්මා. ඒ සින්දුව පුරුදු කරන්න ගොඩක් දුක් වින්දා. පළමුවැනිම සින්දුව අහස් ගැබේ තරු කැට ගානේ.

පාසල් දෙකේම විදුහල්පතිවරු වගේම පන්ති භාර ගුරුවරු මේ වැඩේට ලොකු සහයෝගයක් ලබා දෙනවා දරුවන්ගේ අධ්‍යාපනයට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. අපි හැමදාම ඉස්කෝලේ යනවා. සතියේ දිනවල භාරගන්නේ පැය දෙකෙන් යන්න පුළුවන් දුරක විතරයි. සති අන්තයේ තමයි දුර ප්‍රසංග භාර ගන්නේ. ඇත්තම කිව්වොත් ආශාවරී කණ්ඩායමට මාසෙකට ප්‍රසංග විස්සකට විතර ආරාධනා ලැබෙනවා.

මම පුංචි කාලේ ඉඳලා හීන මැව්වා ලංකාවේ සංගීත කණ්ඩායමක් ජනප්‍රිය කරනවා කියලා. මට සංගීතය කරලා ලංකාවේම ආදරය දිනාගන්න බැරි වුණා. නමුත් මේ දරුවෝ ටික ඒ ආදරය ලැබුවා. ඒක ගැන හරි ආඩම්බරයි. ලංකාවේ තියෙන හැම බෑන්ඩ් එකක්ම අපිට උදව් කරලා තියෙනවා.

මැදිරිගිරිය ආශාවරීට ප්‍රසංග තහංචියක් !

මුල් කාලේ මට ආපු ලොකු අභියෝගය තමයි සංගීත භාණ්ඩ ප්‍රශ්නය. ඇත්තටම මේ දරුවෝ විදුලි ගිටාරයක් දැකලා තිබුණේවත් නැහැ. අදටත් අපිට ඩ්‍රම් සෙට් එකක් නැහැ. මේ දරුවන්ගේ දෙමාපියෝ ගොවිතැන්, කුලී වැඩ කරන අය ඉන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් තමයි යම් මට්ටමක ඉන්නේ. අපි පුහුණුවීම් කරන්න ගියත් ස්ටුඩියෝ එකකට පැයකට රුපියල් දෙදහක් තුන්දාහක් විතර ගන්නවා. කාලයක් ඒ මුදලවත් එකතු කර ගන්න බැරි තත්ත්වයක් තිබුණා. ප්‍රසංගයකට යන්න ඇඳුමක් ගන්න බැරි කාලයකුත් තිබුණා. මේ බෑන්ඩ් එක මම නිර්මාණය කළාට ගොඩක් දෙනකුගේ උදව් ලැබුණා. මලීෂා ෆාම් හවුස්හි ලක්මාල්, ඉතාලියේ ලක්දිල් පීරිස්, මැදිරිගිරියේ කෝසල, මලිෂා ෆාම්හි චමිල්, මගේ බිරිඳ හංසමාලී, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නිමේෂා ගුරුතුමිය, දිල්ෂාන් මල්ලි උදව් කරනවා.

මේ ලංකාවේ ගුරුවරුන්ගෙන් වැඩියෙන්ම සතුටු වෙන ගුරුවරයා මම වෙන්න ඇති කියලා මට හිතනවා. මම කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ උපාධියක් ලබා ගත්තේ. මේ දරුවන්ගෙන් ශිෂ්‍යත්වය සමත් දෙදෙනෙක් ඉන්නවා. ඒ වගේම ගොඩක් දරුවෝ පන්තියේ පළමුවැනියා, දෙවැනියා වුණු අය. විෂයන්වලට හොඳට ලකුණු ලබාගෙන තිබෙනවා. එහෙම අධ්‍යාපනයක් නොමැති නම් මේ වයසට සංගීතයේ මේ තරම් දුර ගමනක් යන්න බැහැනේ. මේ දරුවෝ 9 දෙනාගෙන් හත්දෙනකුගේම දෙමාපියෝ හරිම දුප්පත්. දරුවන්ගේ අම්මලා තාත්තලා කුලී වැඩ කරලා දුන්න සල්ලිවලින් තමයි පුහුණු කරලා වීඩියෝ දැම්මේ.

මහේෂ් එදිරිසිංහ

ළමාරක්‍ෂක අධිකාරියට එල්ල කරන චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා – සභාපති උදය අමරසිංහ

ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු දැක්වූ අදහස.

මැදිරිගිරිය ආශාවරී ළමා සංගීත කණ්ඩායම තහනම් කළ බවට සමාජ මාධ්‍ය තුළින් පතුරුවා හරිමින් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට එල්ල කරන චෝදනාව මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනවා.

වැලිවේරිය පොලිසියෙන් අධිකාරිය වෙත කළ දැනුම් දීමකට අනුව මේ සම්බන්ධව සොයා බලන ලෙසට කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.

මැදිරිගිරිය ආශාවරීට ප්‍රසංග තහංචියක් !

2022 සැප්තැම්බර් මාසයේ මැදිරිගිරිය ආශාවරී ළමා සංගීත කණ්ඩායම වැලිවේරිය සංගීත ප්‍රසංගයක් පවත්වන්න යනවා කියලා වැලිවේරිය පොලිසියෙන් දැනුම් දීමක් කළා. දරුවන් යොදවලා වැඩිපුර මුදල් ඉපයීමක් කරන බවට වාර්තාවී ඇතැයි පොලිසිය දැනුම් දුන්නා. මෙන්න මේ නිසා අපි මේ ගැන විමර්ශනයක් සිදුකරන ලෙසට කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරලයි තියෙන්නේ. ඒ නිලධාරීන් කණ්ඩායමක් මැදිරිගිරියට දැනටමත් ගිහිල්ලයි තියෙන්නේ. නමුත් මොකද වුණේ කියලා කම්කරු දෙපාර්තමේන්තුව මගින් අපිට දැනුම් දීම් කරලා නැහැ.

දක්‍ෂ දරුවන්ට අත දිය යුතුයි – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය

ඇත්තටම මේක වැරදි වැඩක්. දක්‍ෂ දරුවෙකුට තමන්ගේ කලා හැකියාවන් ඉදිරියට ගෙනියන්නට අපි අත දිය යුතුයි. ඔවුන්ට එවැනි නීති ලෝකයේ කොහේවත් හදන්න බැහැ. කලාව කියන්නේ වෙනම මාධ්‍යයක්. මයිකල් ජැක්සන් බිහි වෙනවද ළමා අපචාරයක් කියලා එයාව නතර කළා නම්. එයා අවුරුදු 10 න් සිංදු කියන්න ගත්තේ. නන්දා මාලනි මහත්මිය එයා කොච්චර අඩු වයසින්ද සින්දු කියන්න ගත්තේ. මම රඟපාන්න ගත්තේ අවුරුදු 16 න්. එහෙනම් මමත් ළමයෙක්. අද බලන්නකො ලිට්ල් ස්ටාර් තරග. කොච්චර දක්‍ෂ දරුවෝ බිහිවේගෙන එනවද? දරුවන්ගේ කලා හැකියාවන් මොට කරන්න එපා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිවේදනයේ මෙසේ සඳහන් වෙයි

ළමයකුට සිදුවන අපරාධමය වැරදි සම්බන්ධව සහ ඒවායෙන් ඔවුන් මුදා ගැනීම සඳහා දැනුවත් කිරීමේ කාර්යයක් හැර වෙනත් කටයුතු වෙනුවෙන් පොලිසිය මැදිහත් වන්නේ නීතියේ පැහැදිලිව සඳහන් කරුණුවලට පමණකි. එමෙන්ම ළමයින්ගෙන් ප්‍රාසාංගික කටයුතු මෙන්ම වෙනත් ක්‍රියාකාරකම් සම්බන්ධවද සීමා නීර්ණය කරනු ලබන්නේ ළමා කටයුතු පිළිබඳ විෂය පැවරුණු වෙනත් ආයතන බවද එම කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.

කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා

ළමා සංගීත කණ්ඩායම වැලිවේරිය ප්‍රදේශයේ සංගීතයක් පවත්වන්න වැලිවේරිය පොලිසියෙන් අවසර ගැනීමට ගොස් තිබෙනවා. එහිදී ළමයින් සිටින බව නිරීක්‍ෂණය වීමෙන් පසු පොලිසිය විසින් ළමාරක්‍ෂක අධිකාරිය දැනුවත් කිරීමෙන් පසු එම අධිකාරිය කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙනවා.

16 ට අඩු ළමයින්ගෙන් ශ්‍රමය ලබාගැනීමට නීතියෙන් තහනම්. මෙහිදී එකක් පාසල් වයසේ ළමයි. දෙක ඒ ළමයින්ගේ ශ්‍රමය මුදලට ලබාදීම කරන්න බැහැ. තවත් එකක් තමයි සංගීතය පවත්වන්න ඉල්ලපු දවස පාසල් දිනයක්. මේ වගේ දේවල් නිසා ගම්පහ කම්කරු කාර්යාල නිලධාරීන් විමර්ශනය කර, පොලොන්නරුව කාර්යාලයේ නිලධාරීන් මගින් වාර්තා ගෙන්වා ගෙන තිබෙනවා. පොලොන්නරුව කාර්යාලයේ නිලධාරීන් එම දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කර ළමා ශ්‍රමය ගැන දැනුවත් කරලා තියෙනවා.

මැදිරිගිරිය ආශාවරීට ප්‍රසංග තහංචියක් !

යුරෝපා සංගමයේ නිලධාරීන් GSP සහනය දීර්ඝ කිරීමට අදාළව මේ දිනවල ලංකාවට පැමිණ තිබෙනවා. මෙවැනි දේවල් වාර්තාවීම රටක් වශයෙන් අපිට එතරම් යහපත් නැහැ. ළමා ශ්‍රමය අලෙවි කරන්න බැහැ. ළමයි පාසල් වේලාවේ යොදා ගන්නවා නම් විදුහල්පතිවරයාගෙන් අවසර ගෙන නොමිලේ පවත්වන දෙයකට සහභාගි කරවන්න පුළුවන්. දක්‍ෂ ළමයි කියලා අඩු වයසේ ළමයි මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන් යොදා ගන්නවා නම් ඒක වැරදි වැඩක්. කොහොමත් මේ සංගීත කණ්ඩායම තහනම් කරන්න අපිට බලයක් නැහැ. ඒ වගේම නීත්‍යනුකූල නොවන දේවල් නීත්‍යනුකූලයි කියලා කරන්න අපිට උපදෙස් දෙන්නත් බැහැ.

චමින්ද සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment