මැද පෙරදිගට ඉල්ලුමක් ඇති කොපු දැල්ලන් අල්ලන්න  – ඉන්ධන නැතිව මන්නාරම සහ අවට ධීවරයෝ ළැතැවිල්ලේ

412

මැද පෙරදිග ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කරනු ලබන කොපු දැල්ලන් හෙවත් බට දැල්ලන් මේ දිනවල විශාල වශයෙන් මන්නාරම සහ ඒ අවට මුහුදු තීරයෙන් හසුවන නමුත් ඉන්ධන ප්‍රශ්නය මත විශාල අස්වැන්නක් නෙළා ගැනීමට ධීවරයින්ට නොහැකි වී තිබේ.

ඉන්ධන ප්‍රශ්නය මත ධීවරයින්ට දැල්ලන් ඇල්ලීම සඳහා මුහුදු යෑමට නොහැකි පරිසරයක් නිර්මාණය වී ඇති බවත් එසේම පිටස්තර පළාත් වලින් මීට පෙර මෙම කොපු දැල්ලන් මිලට ගැනීමට මන්නාරමට පැමිණි වාහන මේ දිනවල නොපැමිණෙන බවත් මන්නාරම ධීවර සංගමයේ සභාපති එස්. අලාම් මහතා පැවසීය.

මන්නාරමේ ධීවරයින් මීට පෙර මෙම කොපු දැල්ලන් කිලෝවක් රුපියල් 3000ත් 4000ත් අතර මිලකට අලෙවි කිරීම සඳහා සමාගම් කීපයක් සමග ගිවිසුම් ගතව සිටියද මේ දිනවල එම සමාගම්වල වාහන නොපැමිණීම නිසා කිලෝවක් රුපියල් 1200 ක් බැගින් වූ තොග මිලකට කොපු දැල්ලන් දේශීය වෙළෙඳපළට දැමීමට මන්නාරමේ ධීවරයින්ට සිදු වී තිබේ. ඉන්ධන ප්‍රශ්නයට පෙර කොපු දැල්ලන් වාරයට බෝට්ටු 400 ක් පමණ ගොස් කොපු දැල්ලන් ඇල්ලීමේ නිරත වුවත් මේ දිනවල බෝට්ටු 15 ක් හෝ 20 ක් පමණක් දැල්ලන් ඇල්ලීමේ නිරත බවද මන්නාරමේ ධීවරයෝ කියා සිටිති.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment