මැද පෙරදිගම කම්පා වෙයි – හෙලිකොප්ටරය කඩාවැටී ඉරාන ජනපති ඇතුළු 9ක් මරුට

346

අනතුර සොයාගත්තේ තුර්කිය යැවූ ඩ්‍රෝන යානයකින්
මියගිය අය අතර ඉරාන විදේශ ඇමැති හා අසර්බයිජාන් ආණ්ඩුකාරවරයාත්
යානය සම්පූර්ණයෙන් දැවීගිහින්
පුටින් සහන සේවා භටයන් යවයි
ඉරානයේ දින 5ක ශෝක කාලයක්
මොසාඩ් මෙහෙයුමක් දැයි සැක!

වයඹ දිග ඉරානයේ කඳුකර කැලෑබද ප්‍රදේශයකට ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටීම හේතුවෙන් ජනපතිවරයා ඇතුළු නවදෙනකු මරණයට පත්ව තිබේ.

ජනපති රයිසි ඇතුළු පිරිස ඉරාන අසර්බයිජාන් දේශසීමාවේ ඉදිකළ වේලි දෙකක් විවෘත කිරීමෙන් පසුව නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර වාර්තා වී ඇත.

ජනපති ඇතුළු දූත පිරිස රැගත් හෙලිකොප්ටර් තුනක් ගමන් කර ඇති අතර අනතුරට පත්ව ඇත්තේ ජනාධිපතිවරයා රැගෙන ගිය හෙලිකොප්ටරය පමණි. අධික මීදුම හා අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඉරාන ජනාධිපතිවරයා ගමන්ගත් හෙලිකොප්ටරයට සිදුවූයේ කුමක්දැයි සොයා ගැනීමට අපහසු වූ අතර තුර්කිය විසින් ඉරිදා රාත්‍රියේ යවනු ලැබූ ඩ්‍රෝන යානයකින් ගිනිගෙන දැවුණු හෙලිකොප්ටරය හඳුනාගෙන තිබේ. ඒ අනුව තුර්කිය විසින් ඉරාන බලධාරීන්ට මේ ගැන තොරතුරු ලබාදී ඇත.

63 හැවිරිදි ඉරාන ජනාධිපතිවරයා එරට මීළඟ ආධ්‍යාත්මික නායකයා වනු ඇති බවට විශ්වාසය පළ වී තිබේ. ඊබ්‍රාහිම් රයිසි ජනපතිවරයා ජනපති ධුරයට පත්වූයේ 2021 වසරේ ජුනි මාසයේ දීය. ඔහු කෙළින්ම ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා තමේන්ගේ නියෝජිතයා විය. ඉරාන මාධ්‍ය පවසන්නේ ජනාධිපතිවරයා ඇතුළු පිරිසස රට වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටින අතරතුර දිවි පිදූ බවය.

ඉරාන ජනපති ගමන් කළ හෙලිකොප්ටරය එරට විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලානියාස් හා අසාර්බයිජාන් ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් වූහ.

මැද පෙරදිගම කම්පා වෙයි - හෙලිකොප්ටරය කඩාවැටී ඉරාන ජනපති ඇතුළු 9ක් මරුට

ශ්‍රී ලංකාවට පැමිණිදා ගුවන් තොටේදී…

ඉරාන රූපවාහිනිය නිවේදනය කර සිටියේ ජනාධිපතිවරයා ගමන්ගත් හෙලිකොප්ටරය සම්පූර්ණයෙන් දැවීගොස් ඇති නිසා කිසිම ජීවී සලකුණක් නැති බවය.

අනතුරෙන් පසු එම ප්‍රදේශයට සහන සේවා කණ්ඩායම්වලට ළඟාවීමට බරපතළ අපහසුතාවයන් තිබේ. මේ විපත ආරංචි වූ සැණින් රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් විසින් කඳුකර සහන සේවා හා ගලවා ගැනීම් මෙහෙයුම්වල නිරතවීමට හැකි භටයන් 50 දෙනකු ඉරානය වෙත එවීමට කටයුතු කර තිබිණි.

නමුත් අනතුරට පත්වූ හෙලිකොප්ටරයේ සිටි කිසිවකු හඳුනාගත නොහැකි ලෙස පලිස්සී ඇතැයි ඉරාන මාධ්‍ය කියයි. ඊයේ උදෑසන හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානයට ළඟාවූ ඉරාන රතු කුරුස සංවිධානයේ ප්‍රධානියා පවසා තිබුණේ තත්ත්වය ඉතා කනගාටුදායක බවය.

ජනපති රැගත් හෙලිකොප්ටරය සොයා ගැනීම සඳහා සෝදිසි කණ්ඩායම් 40ක් යොදවා තිබේ.

රුසියාව, ඉරානය හා කටාර් රාජ්‍යය දැනටමත් ඉරාන ජනපතිගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළකර තිබේ.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස රැගත් හෙලිකොප්ටර් තුන ඉරානයේ ටබ්ස් නගරයට ගොඩබැස්සවීමට නියමිතව තිබුණ ද ජනපතිවරයා ගමන්ගත් හෙලිකොප්ටරය විනාශ වී තිබුණි.

අයහපත් කාලගුණ තත්වය අනතුරට හේතුව බව දැනට ප්‍රකාශ වී ඇති නමුත් අවසන් නිල ප්‍රකාශයක් නැත.

මැදපෙරදිග කලාපයේ ගැටුම් හා ඉරාන – ඊශ්‍රායල් අර්බුදය හමුවේ ඉරාන ජනාධිපතිවරයාගේ හෙලිකොප්ටර් අනතුර පිළිබඳව ඊශ්‍රායලය දෙසට ද යම් සැක සංකා එල්ල වී ඇත. සමහර මාධ්‍ය මෙය මොසාඩ් මෙහෙයුමක්දැයි සැක කරයි. පසුව ඊශ්‍රායල රජය මේ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව ඊශ්‍රායල රූපවාහිනි සේවාවෙන් සඳහන් කර තිබිණි.

ඉරාන ජනාධිපතිවරයාගේ හදිසි අභාවය නිසා එරට උප ජනපති මොහොමඩ් මොක්බර් වැඩබලන ජනපති ලෙසට පත්ව ඇත. නව ජනාධිපතිවරයෙක් දින 50ක් ඇතුළත පත්වනතුරු රට මෙහෙයවන්නේ මේ නව පත්වීම් ලාභියාය. එහෙත් මේ සියලු දෙනාට ඉහළින් රට මෙහෙයවන්නේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේහි විසිනි.

ජනාධිපතිවරයා දෙවැනි අණදෙන නිලධාරියා වේ.

මියගිය ඉරාන ජනාධිපතිවරයා අප්‍රේල් 24 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ උමාඔය යෝජනා ක්‍රමය විවෘත කළේය. ලංකා සංචාරයේදී ඉරාන ජනාධිපතිවරයා හෙලිකොප්ටර් ගමන්වල යෙදුණේ නැත.

මේ අතර හමාස් සංවිධානය ද ඉරාන නායකයාගේ අභාවය ගැන ශෝකය පළකර තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment