මැද පෙරදිග අපේ කතුන් අනාථකරන හොර ඒජන්සිවලට ගීතා වෙඩිතබයි  

462

වධ බන්ධනයන්ට ලක්වෙන්නෙ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ
මෙන්ව හොර ඒජන්සිකාරයන්ගේ වරදින්

දුප්පත් අහිංසක කාන්තාවන් බුරුතුපිටින් විදේශ රැකියාවන්වලට යවා ඔවුන් අනාරක්ෂිත තත්ත්වයන්ට පත්කරන විදේශ රැකියා ආයතනවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසුවාය.

මේ ආකාරයට අහිංසක කාන්තාවන් අමාරුවේ දමන විදේශ රැකියා ඒජන්සි වටලා එම ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශාල වගකීමක් බව ද කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

එක්සත් අරාබි එමිර් රාජ්‍යය ඇතුළු අරාබි රටවල් ගණනාවක සේවය සඳහා ගොස් සිටින මෙරට කාන්තාවන් විශාල පිරිසක් විවිධ වධ බන්ධනයන්ට ලක්වෙමින් ඉතාම අනාරක්ෂිත තත්ත්වයෙන් සිටින බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කළ විමසිමකදී රාජ්‍ය ඇමැතිනිය මේ බව කියා සිටියාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ ද පැවසුවාය.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අපේ කාන්තාවන් තිස්දෙනෙක් නිවසක රඳවාගෙන සිටින බවට ලැබුණු තොරතුරු මත මම ඒ ගැන එරට ශ්‍රී ලංකා තානාපති නලින්ද විජේරත්න මහතාගෙන් විමසිමක් කළා. විජේරත්න මහත්තයා මේ ගැන වහාම ක්‍රියාත්මක වෙලා මේ කාන්තාවන් රඳවා සිටින නිවස පරීක්ෂාවට නිලධාරියෙක් පිටත් කර හැරියා. ඒ කාන්තාවන් ගැන සොයා බලා ඒ අයට සාධාරණයක් කරන්න විජේරත්න මහත්තයා පොරොන්දු වුණා.

ඒ වගේම එක්සත් අරාබි එමිර් රාජ්‍ය තානාපති කාර්යාලයේ අපේ කාන්තාවන් 50 දෙනෙක් නවාතැන් ගෙන සිටිනවා. ඒ කාන්තාවෝ විවිධ වධ බන්ධනයන්ට හිරිහැරවලට ලක් වී අනාරක්ෂිතව සිටි අය.

ඒ පිරිස ආපසු ශ්‍රී ලංකාවට එවන්න කටයුතු කරන බව විජේරත්න මහතා පැවසුවා. ඒත් ඒ අයට ගුවන් ටිකට්පත් ලබාදෙන්න හැකියාවක් නැති බව පැවසුවා.

විදේශ රැකියාවන්ට යන අපේ කාන්තාවන් මේ ආකාරයට ඒ රටවල්වලදී වධ බන්ධනයන්ට ලක් වෙන්නෙ අනාරක්ෂිත තත්ත්වයට පත් වෙන්නෙ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මෙන්ම හොර ඒජන්සි කාරයන්ගේ වරදින්.

අපේ කාන්තාවෝ 30-40 එකවර ඒ රටවල්වලට යවනවා. ඒ රටේ ඉන්න නියෝජිතයෝ මේ කාන්තාවෝ කොහේ හරි රඳවාගෙන ගෘහ සේවය සඳහා අලෙවි කරනවා. ඉතින් අපේ කාන්තාවෝ අනාරක්ෂිත තත්ත්වයට පත්වෙන එක අහන්න දෙයක්ද?

කාන්තාවෝ මේ ආකාරයට අනාරක්ෂිත විදිහට විදේශ ගතවීම නතර කිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වගකීමක්. ඒ වගේම මේ අය රැකියා සඳහා බොහෝවිට ඒවන්නෙ සංචාරක වීසාවලින්. එහෙම ගියාම ඒ අය නිකම්ම අසරණ වෙනවා. මේවා ගැන නිසි ඇගයීමක් කරන්න අපේ බලධාරීන් කටයුතු කර නැහැ.

මීට පෙර තිබුණු නීතිය අනුව අවුරුදු 5 ට අඩු දරුවන් සිටින මවුවරුන්ට විදේශ රැකියාවලට යන්න බැහැ. ඒ නීතිය වෙනස් කරලා අවුරුදු 2 ට අඩු දරුවෝ ඉන්න අම්මලාට රැකියාවලට යන නීතිය ගෙනාවා.

මේක වෙනස් වෙන්න ඕනේ. පුංචි දරුවෝ ඉන්න අම්මලා විදේශ රැකියාවලට යවන එක නතර කරන්න ඕනේ. ඒ වෙනුවෙන් මම සටන් කරනවා.

ඒ වගේම විදේශ රැකියාවලට ගොස් අසරණ වී සිටින හැම කාන්තාවක්ම ඉන් මුදාගන්න සටන මම ආරම්භ කරලා තියෙන්නෙ. අපේ අහිංසක අම්මලාට මෙහෙම දුක්විඳින්න දෙන්න බැහැ. ඒක මහ පාපයක්.

විදේශ රැකියාවලට යන ගෘහ සේවිකාවන්ට පුහුණුවක් ලබාදෙන්න ඕනෙ. එතකොට ඒ අයට රැකියාවලට ගියාම ලොකු පහසුවක්. මේ ගැන මම විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා එක්කත් සාකච්ඡා කළා. ඒ මහතා මේ ප්‍රශ්නයට දැඩි අවධානය යොමුකරලා තියෙන්නෙ. අපි එකතු වෙලා කොහොම හරි අපේ විදේශ රැකියාවල ඉන්න කාන්තාවන්ට සිද්ධ වෙලා තියන මේ අකටයුතුකම් වලින් ඔවුන් මුදාගන්න කටයුතු කරනවා යැයි ද රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment