‘මැන්ඩවුස්’ ආන්ද්‍රා වෙරළට: උ/නැ මුහුදේ තද සුළං

151

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති ‘මැන්ඩවුස්’ සුළි කුණාටුව ඊයේ (09 වැනිදා) රාත්‍රී කාලය වනවිට නිරිතදිග බෙංගාල බොක් ඔස්සේ උතුරු තමිල්නාඩු, පුදුබේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

එම පද්ධතියේ බලපෑමෙන් දිවයිනට උතුරු සහ නැඟෙනහිර දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට ඉතා තද සුළං සමග තද වැසි ඇති විය හැකි බවත්, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු සහ විටින් විට රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ‘මැන්ඩවුස්’ සුළි කුණාටුව ඊයේ උදෑසන 8.30 වනවිට යාපනය සිට කිලෝමීටර් 230 ක් පමණ නැඟෙනහිරට බරව ඊසාන දෙසින් අක්ෂාංග 11.1N සහ දේශාංශ 81.5E ස්ථානගතව පැවතුණි.

මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රීකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස (මීටර් 2.5 3.5 ක් පමණ) ඉහළ යෑමේ හැකියාවක් පවතින අතර, ගාල්ල සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස (මීටර් 2.0 2.5 ක්) ඉහළ යෑමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment