මැනිං ගඳගහයි

191

නාගරික සංවර්ධන අධිකාරියේ ගිවිසුමටත් විරෝධය
පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළේ ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණයේ

පෑලියගොඩ මැනිං තොග වෙළෙඳ පොළේ ව්‍යාපාරිකයන්ට මුහුණ පෑමට සිදුවී ඇති ගැටලුවලට විසඳුම් ඉල්ලා එම ව්‍යාපාරිකයෝ ඊයේ (23 දා) මැනිං වෙළෙඳ පොළ භූමියේ දී උද්ඝෝෂණයක නිරත වූහ.

මේ වනවිට මැනිං පොදු වෙළෙඳ පොළේ ඉවතලන එළවළු හා පලතුරු තැනින් තැන ගොඩ ගැසී ඇති අතර ව්‍යාපාරිකයන් පවසන්නේ සතියකට වැඩි කලක සිට මෙසේ කසළ ඉවත් කිරීම අත්හිටුවා ඇති බවයි.

මේ හේතුවෙන් මැනිං වෙළෙඳපොළේ ව්‍යාපාරිකයන් මෙන්ම දිනපතා එළවළු හා පලතුරු මිලදී ගැනීමට පැමිණෙන දහස් සංඛ්‍යාත පිරිසක් විශාල අපහසුතාවයකට මුහුණපා සිටිති.

එසේම නරක්වී කුණු ගඳ ගසමින් තිබෙන අපද්‍රව්‍ය සතුන් විසින් තැනින් තැනට රැගෙන යෑම නිසා මැනිං වෙළෙඳ පොළ ඉතා අපිරිසිදු තත්ත්වයකට පත්ව ඇත.

කසළ බැහැර කිරීමේ නිරතව සිටින පුද්ගලික සමාගමට කසළ රැගෙන ගොස් දැමීමට ස්ථානයක් නොමැතිකම නිසා මෙසේ කසළ බැහැර කිරීම නවතා දමා ඇතැයි පැවසේ. කෙසේ වෙතත් මේ වනවිට මුළු මැනිං වෙළෙඳ පොළම කසළ ගොඩක් බවට පත්ව ඇති අයුරු දැකගත හැක.

තවද නාගරික සංවර්ධන අධිකාරිය මගින් ව්‍යපාරිකයන් දැනුවත් නොකොට ඒකපාර්ශ්වීයව සකස් කරන ලද ගිවිසුමක් හරහා අසාධාරණ ලෙස තමන් මෙතෙක් භුක්ති විඳින ලද වරප්‍රසාද කප්පාදු කර ඇතැයි එම ව්‍යාපාරිකයෝ චෝදනා කරති.

මේ පිළිබඳව අදහස් දැක්වූ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ ලේකම් සමින්ද පීරිස් මහතා මෙසේ කීවේය.

නාගරික සංවර්ධන අධිකාරිය අසාධාරණ විදියට අවුරුදු දෙකකට වතාවක් කඩ කුලිය වැඩි කරන්න මේ ගිවිසුමෙන් උත්සාහ කරනවා. අපි පිටකොටුවේ මැනිං මාර්කට් එකේ ඉද්දී නගර සභාව ලොකු කඩයකට කුලිය ගත්තේ රුපියල් 2500යි. දැන් අපෙන් රුපියල් 12,300 ක් ගන්නවා. මේ ගිවිසුමෙන් හදන්නේ ඒ කුලියත් අවුරුදු දෙකකට වතාවක් වැඩි කරන්නයි. අපි පිටකොටුවේ මැනිං මාර්කට් එකේ අවුරුදු සීයකට වැඩි කාලයක් පරම්පරා ගාණක් බිස්නස් කරපු අය. මිල කළ නොහැකි භූමියක් දාලා අපි පෑලියගොඩ මිනිස් ප්‍රජාවක් නැති භූමියකට ආවේ රටේ සංවර්ධනයට ගැන හිතලා. එහෙම කැපවීමක් කරපු අපිට නාගරික සංවර්ධන අධිකාරිය මෙහෙම සලකන එක හරිද?

මැනිං පොදු වෙළෙඳ සමිතියේ සංවිධායක අජිත් දළුවත්ත මහතා පැවසුවේ,

නාගරික සංවර්ධන අධිකාරියේ අසාධාරණ තීන්දු තීරණ හේතුවෙන් ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන වෙළෙඳුන් 1700ක් පමණ සිටින මැනිං වෙළෙඳ පොළ දිනෙන් දින අභාවයට යමින් පවතින බවයි.

නාගරික සංවර්ධන ඇමැතිවරයා වහා මැදිහත්වී මැනිං වෙළෙඳ පොළ ව්‍යාපාරිකයන් සමග සාකච්ඡාවක් සිදුකළ සාධාරණ එකඟතාවයකට පැමිණිය යුතු බව පවසන මැනිං ව්‍යාපාරියෝ එසේ නොවුනහොත් මෙම වෙළෙඳ පොළ වැසී යෑමට ඉඩ ඇතැයි ද කියති.

කමල් බෝගොඩ – කුසුම් හැන්නදි,
ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment