මැයි මස සිට යුරෝපය පුරා ලැව් ගිනි 2500ක් ඇවිළී ඇති බවට වාර්තාවක්

174

දේශගුණික විපර්යාසයන් හේතුවෙන් හටගෙන ඇති අධික උෂ්ණත්වයත් සමගම ඉකුත් මැයි මස පළමුවැනිදා සිට මේ දක්වා වූ කාලය තුළ යුරෝපය පුරා ලැව් ගිනි 2500කට ආසන්න සංඛ්‍යාවක් ඇවිළී ඇති බව යුරෝපා බලධාරීහු පවසති. මෙම ලැව් ගිනිවලින් බොහොමයක් තවමත් ඇවිළෙමින් පවතින අතර ඒ හේතුවෙන් යුරෝපා රටවල අක්කර දස දහස් ගණනක භූමි භාගයක් දැනටමත් විනාශ වී ගොස් ඇති බව වාර්තා වී තිබේ.

යුරෝපයේ හටගෙන ඇති සෑම ලැව් ගිනි 10කින් 09ක්ම මිනිසාගේ අනිසි ක්‍රියාකාරකම් හේතුවෙන් හටගෙන ඇති බව හෙළි වී ඇති අතර එම අනිසි ක්‍රියාකාරකම් අතර ගිනි තැබීම හා විදුලි රැහැන් ඇදීම වන බව බලධාරීහු පවසති. දැනට යුරෝපයේ ලැව් ගිනි පැතිරෙමින් පවතින රටවල් වශයෙන් ග්‍රීසිය, පෘතුගාලය, ඉතාලිය, ස්පාඤ්ඤය, තුර්කිය, එක්සත් රාජධානිය හා ප්‍රංශය හඳුනාගෙන ඇති අතර එම රටවලින් සෙල්සියස් අංශක 50ක් දක්වා වූ උෂ්ණත්වයක් පසුගිය දිනවල වාර්තා වී තිබිණි. දැනටමත් ලැව් ගිනිවලට ගොදුරු වීමෙන් හා අධික උෂ්ණත්වය ආශ්‍රිත රෝගාබාධවලට ලක් වීමෙන් යුරෝපය පුරා 1000කට අධික පිරිසක් මෙම මස තුළදී මියගොස් ඇති බව වාර්තා වී තිබේ. දේශගුණික විපර්යාසයන් හේතුවෙන් වැඩි වෙමින් පවතින ගෝලීය උණුසුම මුල් කරගෙන ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මොරොක්කෝවේ ප්‍රදේශ කිහිපයක ද දරුණු ලැව් ගිනි ඇවිළෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment