මැයි 09 ප්‍රහාරය හා දියවන්නාව තරණය කිරීම

244

මැයි මස 09 වන දින පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 150කට වැඩි බහුතර පිරිසකගේ බලය හා 69 ලක්ෂයක ජනතා ප්‍රසාදයක් තිබූ රජයක් මෙන්ම සිය සහෝදරයා ජනාධිපති වූ ද තිස්වසරක කුරිරු යුද්ධයේ සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකමින් ඉල්ලා අස්විණ. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ එකම දිනක අගමැති තනතුරේ තවදුරටත් සිටින බවත් පැය කිහිපයකින් ඉල්ලා අස්වීමක් සිදු වූ පළමු අවස්ථාව මෙය විය.කලක් අගමැතිව සිටි විජයානන්ද දහනායක මහතා අගමැතිකමින් ඉවත්ව දුම්රියෙන් තම ගම රට බලා ගියේය. 1994 දී ගාමිණී දිසානායක මහතා රජයක් පිහිටුවීමට අවශ්‍ය සහයෝගය ලබාගෙන එන තෙක් අගමැතිකමින් ඉල්ලා අස්නොවන ලෙස දන්වා තිබියදීත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකමින් ඉවත්ව 5 වන පටුමගේ තම නිවසට ගියේය. 2015 දී ජනාධිපති ධුරයෙන් පැරදුණු මහින්ද රාජපක්ෂ මහතා මැදමුලන නිවසට ගියේ හෙලිකොප්ටරයෙනි. විශාල ජනගඟක් මැදමුලන නිවස වටා සිටි බැවින් මහින්ද රාජපක්ෂ මහතාට නිවසට ඇතුළුවීමට සිදුවූයේ නිවසේ ඉස්තෝප්පු දොරින් නොව ජනේලයකිනි.

 එදා එසේ ජනතා ප්‍රසාදයක් ලබා තිබූ මහින්ද රාජපක්ෂ මහතාට මැයි මස 09 වන දින ඉල්ලා අස්වීමත් සමග හෙලිකොප්ටරයකින් ත්‍රිකුණාමලය නාවික කඳවුරට යෑමට සිදුවිණ. එදා තිස් වසරක කුරිරු යුද්ධයේ සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතාට ත්‍රිකුණාමලයේ ඇති දුපතක විසීමට සීමා විණ.මෙහි ඇති අරුමය නම් පාර්ලිමේන්තුවේ 150 කට වැඩි බලයක් තිබූ පක්ෂයක දෙවැනි පෙළේ නායකත්වයක් නොතිබීමය. මේ නිසා අගමැතිකමින් මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමත් සමග එම හිඩැස පිරවීමට අවශ්‍ය නියෝජ්‍ය නායකත්වයක් නොතිබීම ප්‍රධාන දුර්වලකමක් විය. මේ නිසා නායකත්වයක් නොමැති පක්ෂය තුළ මැති ඇමැතිවරු මෙන්ම ජනතාව ද අන්දමන් ද විය. එය කැප්ටන් කෙනෙක් නොමැති නෞකාවක් බවට පත්විණ. යම් හෙයකින් එදා දෙවෙනි පෙළේ නායකත්වයක් ලැබුණා නම් රට තුළ එවන් විනාශයක් සිදු නොවන්නේය. පාක්ෂිකයන් ද ශක්තිමත් වන්නේය.

 සමගි ජනබලවේගයට පක්ෂව සිටි ලක්ෂ 55 ක ජනතාවත් ලක්ෂ 69 ක් පක්ෂව සිටි පොදුජන පෙරමුණත් ලක්ෂ 5 ක ජනතාවක් සිටි ජාතික ජන බලවේගයත් අබිබවා ලක්ෂ 2කට වැඩි ජනතා බලයක් තිබූ එක්සත් ජාතික පක්ෂයට ඉදිරි මැතිවරණයක් පිළිබඳව බලා නොසිට රජයක් පිහිටුවීමට මැයි මස 09 වන දින සිදුවීම වෙසෙසින් බලපෑවේය. එය හතරගාතේ වැටී සිටි අලියා ක්ෂණිකව නැඟිට කුංච නාද කළා වැනිය. මැයි මස 09 වන දින ඇති වූ කලහකාරී සිදුවීම් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනය විය. මෙතුමා ජනතා ඡන්දයෙන් මිසක් පිං මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි අයකු නොවන්නේය. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කලහකාරී සිදුවීමකට මැදි වී ජීවිතක්ෂයට පත් වූ පළමු මන්ත්‍රීවරයා ඔහු විය. ඒ හා සමාන මැති ඇමැතිවරු නොවූවද අප රටේ සාමාන්‍ය ජනතාවගෙන් කිහිප දෙනකු ද කලහකාරී සිදුවීම මත ජීවිතක්ෂයට පත්විණ. 1953 දී ඇති වූ හර්තාලයෙන් කන්දසාමි මහතා මියගිය බැවින් එවකට අගමැති ඩඩ්ලි සේනානායක මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැර අගමැතිකම අත්හළේය. තමන් බලයට පැමිණියේ ජනතාව ජීවත් කරවීමට මිසක් ජනතාව මරා දැමීමට නොවන බව අගමැති ඩඩ්ලි සේනානායක මහතා පවසා තිබිණ. එවන් අගමැතිවරු ද අප රටේ සිටියේය.

 මැයි මස 09 වන දින මැති ඇමැතිවරු මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන මෙන්ම යාන වාහන ගිනිබත් විණ. එක් දිනෙක මෙවන් විශාල ව්‍යසනයක් දේශපාලන ඉතිහාසයේ සිදු වූ පළමු අවස්ථාව මෙය වන්නේය. මෙහි ඇති අරුමය වන්නේ මනාප ඡන්ද ලක්ෂය ඉක්මවා ගත් නියෝජිතයන්ගේ නිවාස ද ගිනිබත් වීමය. අවම වශයෙන් එසේ මනාප දුන් පාක්ෂිකයන් ද තම ජනතා නියෝජිතයාගේ නිවස වාහන දේපළ රැක බලා දීමට අපොහොසත් වීම ද යම් දුර්වලකමකි. ඔවුන්ගේ මනාපය ඡන්ද පෙට්ටියට පමණක් සීමා වුවාදැයි වරෙක සිතේ. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් මැතිවරණයකින් පසුව ජයග්‍රහණය භූක්ති විදීමට පරාජිතයන්ගේ නිවාස දේපළ ගිනිබත් කරයි. නමුත් මැතිවරණයක් නොමැතිව රට තුළ මෙවන් විනාශයක් ඇති වූ පළමු අවස්ථාව වන්නේය. මෙම නිවාසවල කිසිවකු නොසිටි බැවින් ව්‍යසනය කල් ඇතිව ඔවුන් දැන සිටි බවක් පෙනේ. අපට දැකගත හැකි වූයේ කිසිවකුවත් ජීවත් නොවන පාළුවට හැරදා ගිය නිවාස ගින්නෙන් විනාශයට පත් වන බවකි.

 මැයි මස 09 වන දින “ගෝඨාභයගෝගම”ට එල්ල වූ මැර ප්‍රහාරය දැක බලා ඔවුනට උපකාර කිරීමට සද්භාවයෙන් ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද අරගලකරුවන්ගේ ප්‍රහාරයට මුහුණදීමට සිදුවිණ. ඉන් තුවාල නොලබා ආරක්ෂක රැකවලුන්ගේ රැකවරණය මැද ඔහු පිටව ගියේය. එදින දහවල වැදුණු මැර ප්‍රහාරයෙන් කිපී සිටි අරගලකරුවන් බැලීමට යෑම විපක්ෂ නායක කළ බලවත් අමනෝඥ ක්‍රියාවකි. ඊට සම්බන්ධ වීමට ඔහුට උපදෙස් දුන් මුග්ධ උපදේශකයන් කවුද? යම් හෙයකින් ප්‍රහාරය දරුණු වූවා නම් අමරකීර්ති අතුකෝරළ මහතාගේ නමට සජිත් ප්‍රේමදාස මහතාගේ නම ද නිතැතින්ම එක්වීමට තිබිණ. කෙසේ වෙතත් ඉන් බේරීමට ඔහු වාසනාවන්ත විය.මෙවන් අරගලයකට මැදිහත්ව ප්‍රහාරයකට ලක් වූ පළමු විපක්ෂ නායකයා ලෙස ඉතිහාසගත වන්නේය. එය දෙපිරිසක් අතර ඇති වූ කලහයක් දැක බලා ගැනීමට ගියා හා සමානය. මැයි මස 09 වන දින ඇති වූ සිදුවීමෙන් අගමැති ඉල්ලා අස්වීමත් සමග රටට ඇමැති මණ්ඩලයක් නැති විණ. දේශපාලනඥයන් තමන්ට රිසි සේ පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කරගෙන ඇති බව හෙළිවිණ. පොදුජන පෙරමුණේ නියෝජ්‍ය නායකයකු නොසිටි බැවින් වෙනත් පක්ෂයක නායකයකුට අගමැතිකම හිමිවිණ. එක්සත් ජාතික පක්ෂය නමැති කැඩී බිදී අබලන්ව තිබූ නෞකාවේ කැප්ටන්ට පොදුජන පෙරමුණ නමැති හොඳ නෞකාවේ සුක්කානම භාරදීමට සිදුවිණ.

 එහෙත් මැයි මස 09 වන දින ව්‍යසනයට පත්වූ සමහර නිවාසවල ගෑස් සිලින්ඩර 60 – 70 තිබිණ. අනික් අයට හෙණ ගහලා ගියත් තම බඩගෝස්තරය ගැන සිතා කටයුතු කළ ජනතා නියෝජිතයන් ද ඒ අතර වූහ. තමන්ගේ දරුවන්ට කන්න දෙන්න ගෑස් සිලින්ඩරයක් ගන්න පැය ගණන් දවස් ගණන් රණ්ඩු වේවී පෝලිමේ ජනතාවක් සිටියහ. ඒ අතර කාය බලය ඇති අය ඉදිරියටත් දුර්වල අය තවත් පෝලිමේ ඈතටත් විසිවිණ. අම්මේ තාත්තේ බඩගිනියි කිව්වාම දෙමව්පියන් තුළ ජනිත වන්නේ දරු සෙනෙහස සමග බැඳුණු වේදනාවකි. ඔවුන් වාහන බලපත්‍ර, තැබෑරුම් බලපත,්‍ර වායුසමීකරණ යන්ත්‍ර, පිහිනුම් තටාක හෝ ඇවිදින මංතීරු ඉල්ලන්නේ නැත. ඔවුන් ඉල්ලන්නේ අහිංසක ඉල්ලීමකි. උයා පිහා ගන්නට ගෑස් සිලින්ඩරයකි. කෙසේ වෙතත් පරමාදර්ශි ජනතා නියෝජිතයෙක් නම් තමන් බඩගින්නේ සිට ජනතාව වෙනුවෙන් පිහිටට පැමිණිය යුතුය. එවිට බඩගින්නේ අසීරුව නිතැතින් දැනේ. උදේ හවා සිට මිනිසුන් වැඩ කරන්නේ ජීවත්වීමේ අරගලයකය. තුන් වේල කන්නය, නැතිනම් දෙවේලක් කන්නය. එහෙත් දේශපාලනඥයන් මැතිවරණ කාලවල දන්සැල් පවත්වති. මැයි දිනවල බත්, මුදල් ලබා දෙති. දේශපාලන ලොක්කා රැස්වීමට සෙනඟ ගෙන එන්නැයි කියූ විට නායකත්වය සතුටු කරමින් තම බලය පෙන්වීමට කන්න බොන්න දී බස් පිටින් සෙනඟ රැගෙන එති. මේ දිනවල ගෑස් නොමැති බැවින් අවම වශයෙන් තමන්ට මනාප ලබාදුන් පාක්ෂික පිරිසට වත් එදා මෙන් තුන්වේල කන්න දුන්නා නම් ඔවුනට යම් සහනයකි. සියලුම පක්ෂවල ජනතා නියෝජිතයන් එසේ රැකබලා ගත්තා නම් ඉදිරියේදී ඔවුනට පහසුවෙන්ම දියවන්නාව තරණය කළ හැකිය.

 ඒ. සේනාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment