මැරුණ මිනිසුන්ගේ ජීවමාන සාහිත්‍යය

310

ශ්‍රී ලාංකේය සාහිත්‍යය අඹරට පසුගියදා සඳක් පායා ආවේය. ‘’The Seven Moon of Maali Almeida’’යනු වසර තිස්හයකට පසුව ලාංකේය සාහිත්‍යයට පෑයූ සඳකි. පුරා තිස් වසරක් තිස්සේ ශ්‍රී ලංකාව බියෙන් සලිත කළ මිලේච්ඡ ත්‍රස්තවාදයේ අඳුරු පැතිකඩවල බියජනක යථාර්ථය ශෙහාන් කරුණාතිලකයන් විසින් ලෝකය අභිමුවට ගෙන එන්නේ ඔහුගේ මෙම කෘතිය හරහාය. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පිළිබඳව එදා මෙදාතුර ලියැවුණු විශිෂ්ටතම කෘතිය වන ශෙහාන්ගේ‘’The Seven Moon of Maali Almeida’’ ඉකුත් 17 වැනි දා ලෝකයේ ප්‍රමුඛතම සාහිත්‍යය සම්මානය වන බුකර් සම්මානයට පාත්‍ර වන්නේ එම රාත්‍රිය ශ්‍රී ලාංකේය වංශ කතාවට සුවිශේෂී දිනයක් කරවමිනි.

 1975 වසරේ දී ගාල්ලේ දී උපත ලද ශෙහාන් කරුණාතිලකයන් හැදීවැඩෙන්නේ කොළඹ ය. පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා නවසීලන්තය බලා පිටත්වන ඔහු වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ නිර්මාණාත්මක රචකයකු එසේත් නැතිනම් නිර්මාණ අධ්‍යක්ෂවරයකු ලෙසය. එංගලන්තයේ ලන්ඩන්, නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් සහ සිංගප්පූරුවේ සිය වෘත්තීය ජීවිතය ගෙනයමින් අනතුරුව ඔහු සිය පළමු සාහිත්‍ය කෘතිය නිර්මාණය කරයි. ඒ අනුව Chinaman නම් ඔහුගේ පළමු අපූරු නවකතාව එළිදැක්වෙන්නේ 2010 වසරේදීය. සිය පළමු නවකතාව හරහාම සාහිත්‍ය ලෝකයේ අවධානය  දිනාගන්නා ශෙහාන් පසුව එය සිංහලට ද පරිවර්තනය කරයි. ක්‍රිකට් ක්‍රීඩකයකු අලලා ලියැවුණු මෙම අපූරු කෘතිය DSC ත්‍යාගය, සහ ග්‍රේෂන් ත්‍යාගය දිනාගනිමින් ලෝකයේ ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල රැසක අවධානය දිනා ගනී. ඉන් නොනැවතුණු ශෙහාන්ගේ Chinaman 2012 දී පොදු රාජ්‍ය මණ්ඩලීය සාහිත්‍ය සම්මානය (Commonwealth Lit Prize) දිනාගන්නේ විශ්ව සාහිත්‍යයේ සුවිසල් ජයග්‍රහණයක් අත්පත් කරගනිමිනි. තවද Wisden සඟරාව මගින් මෙතෙක් ප්‍රකාශිත දෙවැනි විශිෂ්ටතම ක්‍රිකට් සාහිත්‍ය කෘතිය ලෙස හැඳින්වීම ද අතිශය ජයග්‍රහණයකි.

 2022 වසරේ බුකර් ත්‍යාගය ශ්‍රී ලාංකිකයකුට හිමිවීමත් සමග අවධානය යොමුවන්නේ මින් පෙර බුකර් ත්‍යාගය ලබාගත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මයිකල් ඔන්ඩච්චි දෙසට ය. වයස අවුරුදු පහේදී සිය පවුල සමග කැනඩාවට යන මයිකල් 1992 වසරේ දී ඔහුගේ The English Patient නම් කෘතියට බුකර් ත්‍යාගය ලබාගනිමින් එම ජයග්‍රණයය ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙයි. ඔහු ගිය මඟ තවත් වර්ණවත් කරන්නට මෙවර ශෙහාන් කරුණාතිලකයන් සමත් වන්නේ දුගී බවේ පත්ලට ම ගිලෙමින්, බංකොලොත්බවේ ඉහළට ම යමින් සිටින රටක් ලෙස විදෙස් රටවල් ශ්‍රී ලංකාව හඳුන්වමින් සිටින කාල වකවානුවකය.

මැරුණ මිනිසුන්ගේ ජීවමාන සාහිත්‍යය

1969 ආරම්භ වුණු බුකර් සම්මානය කේවල ප්‍රබන්ධයන් සඳහා ලබාදෙන ලෝකයේ ප්‍රමුඛතම සාහිත්‍ය සම්මානය ලෙස හැඳින්වේ. ඉංග්‍රීසි බසින් ලියැවුණු පොත් රාශියක් මෙම තරඟය සඳහා ඉදිරිපත්වන අතර විශේෂත්වය වන්නේ එම කෘති මුද්‍රණය කොට තිබිය යුත්තේ එංගලන්තයේ හෝ අයර්ලන්තයේ වීමය. ජයග්‍රාහකයාට මුදලින් පවුම් 50,000 කි. මෙවර ඉදිරිපත්ව තිබූ සාර්ථක කෘති 170ක් අතුරින් ශෙහාන්ගේ  The Seven Moon of Maali Almeida කෘතිය දෙවන වටයේදී හොඳම කෘති 30 අතරට තේරී පත්වී පසුව අවසන් කෘති හය අතරට තේරී පත්වන්නේ ලෝකයේම අවධානය නැවත වරක් ශ්‍රී ලංකාව දෙසට යොමුවෙමිනි. බුකර් සම්මානය සඳහා ශ්‍රී ලාංකික ශෙහාන්ගේ The Seven Moon of Maali Almeida කෘතිය සමග කරට කර තරඟ වැදුණු අනෙකුත් විශිෂ්ට කෘති පහ වූයේ බි්‍රතාන්‍ය ජාතික ඇලන් ගානර්ගේ Treacle walker ඇමරිකානු ජාතික පර්සිවල් එවරට්ගේ The trees , ඇමරිකානු ජාතික එළිසබෙත් ස්ට්‍රවුට්ගේ Oh Williamæ’! සමග සිම්බාබ්වේ ජාතික නෝවයලට් බුලවායෝගේ ‘’Glory’’නම් කෘති පහය.

 1980 ගණන්වල ශ්‍රී ලංකාවේ ජීවත් වූ ශෙහාන්ට සිවිල් යුද්ධය පිළිබඳව ඇත්තේ ඉතා පැහැදිලි අත්දැකීමකි. දේශපාලනික ප්‍රචණ්ඩත්වය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට හේතුවක් ලෙස දුටු ශෙහාන් යුද්ධයෙන් පසුව ඒ පිළිබඳව තවදුරටත් ගවේෂණය කරමින් පොතක් ලිවීමට දැඩි උනන්දුවකින් පසුවන්නට විය. එහෙත් යුද්ධය පිළිබඳව ෂෙහාන්ගේ එදිනෙදා ජීවිතයේ ලද අත්දැකීම් සහ තමා සොයාගත් ඉතා සියුම් තොරතුරු ලෝකයක් ඉදිරියේ ගෙනහැර පෑමට ඔහු විටෙක පසුවූයේ

 දෙගිඩියාවකිනි. ජීවත්ව සිටින මිනිසුන්ගෙන් යුද්ධයේ රුදුරු තැන් විමසනවා පමණක් නොව, ඉන් ඔබ්බට ගොස් යුද්ධයෙන් මළ මිනිසුන්ගෙන් එහි ඇති අඳුරු පැතිකඩ විමසීම පිළිබඳව ශෙහාන් සිතන්නට විය. සිවිල් ජීවිතවලට සිදුවූ හානි, ඔවුන්ගේ ජීවිත අඳුරු පටලයකින් වැසීගත් අයුරු ජීවත්ව සිට මියගිය ආත්මයන්ගෙන් විමසීමට තරම් ශෙහාන්ගේ හදවත කම්පනකට පත්වන්නට විය. යුද්ධයෙන් මියගිය අයෙකුගෙන් සිය මරණය සිදු වූ අයුරු ඇසුවහොත් ඔහු දෙන පිළිතුර ජීවත්ව සිටින්නන් ලබාදෙන පිළිතුරුවලට හාත්පසින් වෙනස් වන්නට ඉඩ ඇතැයි ශෙහාන්ට නිතරම සිතුණකි. ඒ අනුව ඔහු සිය පළමු පියවර තබන්නට විය. මෙහිදී දේශපාලන ප්‍රචණ්ඩත්වයට ගොදුරුව මිය ගොස් යළි අවදිවන යුද ඡායාරූප ශිල්පියකු වටා ගෙතුණ අපූරු නවකතාවක් ඔහුගේ පෑන් තුඩෙන් ලියැවෙන්නට විය. අවසන වසර කිහිපයකට පසුව ශ්‍රී ලංකාවේ අඳුරු, කුරිරු අතීතය පිළිබඳව අපූරු විවරණයක් නිර්මාණාත්මකව හාස්‍යය දනවමින් විශ්ව සාහිත්‍යයට දායාද කිරීමට ශෙහාන් සමත් වන්නේය. බුකර් සම්මානය සඳහා ඉදිරිපත්ව සිටි විනිසුරුවන්ගේ මහත් අගය කිරීම් රැසක් මැද මේ වසරේ විනිසුරුවන්ගේ සභාපති නීල් මැක්ග්‍රෙගර් පැවසුවේ ඔවුහු ශෙහාන්ගේ නිර්භීත රචනය, කුසලතාවය සහ නිර්මාණයේ හාස්‍යජනක බව නොපැකිලිව අගය කරන බවය. තවදුරටත් ඔහු පවසා සිටියේ මෙම කෘතිය පාඨකයාව ජීවිතය සහ මරණය අතර ඇති හරි අපූරු චාරිකාවකට රැගෙන යන බවය. විචාරක ටොමිවා ඕවොලේඩ් ද ගාඩියන් පුවත්පතට පවසා ඇත්තේ කරුණාතිලක තම රටේ ඉතිහාසයේ බිහිසුණු කාලපරිච්ඡේදයකට කලාත්මකව යුක්තිය ඉටුකොට ඇත යනුවෙනි.

 බුකර් සම්මානය ලබාගැනීමෙන් අනතුරුව ශෙහාන් කරුණාතිලකයන් සිය කෘතිය පිළිබඳව තමන්ගේ එකම බලාපොරොත්තුව කුමක්ද යන්න මෙසේ ප්‍රකාශ කළේය:

 මම ශ්‍රී ලංකාවේ ජීවත්වෙන කාලයේ ලද අත්දැකීම් එක්ක මට අවශ්‍ය වුණා එවකට ඝාතනය කරන ලද මාධ්‍යවේදීන්, දේශපාලනයින්, සමාජ ක්‍රියාකාරිකයින් සහ අහිංසක මිනිසුන් ගැන ලියන්න. මගේ කෘතිය පිළිබඳව මගේ එකම බලාපොරොත්තුව වන්නේ තව අවුරුදු දහයකින් හෝ ඊටත් වැඩි කාලයකට පස්සෙ දූෂණය, සැලසුම් කොට ජාතිවාදය ඇවිස්සීම, ගජමිතුරු සංග්‍රහය වැනි දේවල් සාර්ථක නෑ කියන දේ වටහාගත් ශ්‍රී ලංකාවක මේ පොත කියවනා දකින්න ලැබීම විතරයි.

 සාම්ප්‍රදායික රචනයෙන් ඔබ්බට යමින් විශිෂ්ට උපමා සහ රූපක යොදාගනිමින් නිර්මාණයේ යෙදී ඇති ශෙහාන්  ‘The Seven Moon of Maali Almeida’ කෘතිය පාඨක මනස ඉතා සියුම්ව කම්පනයට සහ හාස්‍යයට ලක් කරන්නට සමත්ව ඇත. ඒ සියලු වචන යටින් ගම්‍ය වන ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනවල යථාර්ථමය සිදුවීම් පෙළ ඉතා අනුවේදනීයය. එම භීෂණ සමය පිළිබඳව මෙතෙක් ගවේෂණාත්මකව සහ නිර්මාණාත්මකව රචනයක් සිදුකළ විශිෂ්ටතම ලේඛකයා ලෙස ශෙහාන් කරුණාතිලකයන් ද ඒ විශෂ්ටතම සාහිත්‍ය කෘතියි’
 ‘The Seven Moon of Maali Almeida’ බවට ද කිසිදු සැකයක් නොමැත. ශෙහාන්ගේ ඉංග්‍රීසි බසින් ලියැවුණු මෙම කෘතිය මෙතරම්ම පාඨක ආකර්ශනයට ලක්වීමට මූලිකම හේතුවක් ලෙස ඔහුගේ උපන් කුසලතාවයත් කුඩාකල සිට ම ඉංග්‍රීසි බස හැසිරවීමට ඔහු ලද පන්නරයත් සැලකිය හැකිය. සාහිත්‍ය තුළ ගැබ්ව ඇති අලංකරණ බොහොමයක් අපූරුවට යොදාගනිමින් පාඨක සිත් සිය කෘතිය වෙත ඇද බැඳ තබා ගැනීමට ශෙහාන් දක්වා ඇති දස්කම තවත් වසර සියයක් ඔබ්බට ගියද විශ්ව සාහිත්‍යය තුළ කතාබහට ලක්වනු නොඅනුමානය.

● සඳුනි තිලකරත්න

සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment