මැර ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වූ පොලිස්පති ඉල්ලා අස්විය යුතුයි: දේශබන්දුට නීති පියවර ගත යුතුයි

405

කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයෙන් නිවේදනයක්

අරලියගහ මන්දිරයේ සිට පැමිණි දේශපාලනඥයන් කිහිපදෙනකුගේ මෙහෙයවීමෙන් යුත් මැර කණ්ඩායමක් පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ

ගාලුමුවදොර පිටියේ රැඳී සිටි සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාර මැඬ පැවැත්වීමට අපොහොසත් වීමේ වගකීම භාරගෙන පොලිස්පතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් තමන් වෙත පැවරි තිබූ රාජකාරිමය

වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව වහාම නීතිමය පියවර ගත යුතු බවත් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

නීතියේ ආධිපත්‍යයට හා ප්‍රජාතන්ත්‍රවාදයට කළු පැල්ලමක් එක් කළ එකී මැර ප්‍රහාර මැඬ පැවැත්වීමට අපොහොසත් වූ මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග සම්බන්ධයෙන් තම සංගමයේ කිසිදු විශ්වාසයක් නොමැත්තේ යැයි ද කොළඹ නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ සරත් ඒකනායක හා සභාපති ලක්ෂ්මන් පෙරේරා යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනය මගින් පෙන්වාදී තිබේ.

එම ස්ථානවල රාජකාරියේ යෙදී සිටි සහ ඔවුනට නායකත්වය දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් එකී මැර පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට දැක්වූ උදාසීන භාවය නිසා එවැනි දරුණු හා ම්ලේච්ඡ ප්‍රහාරවලට ගොදුරු වීමට සාමකාමී ජනතාවට සිදුවූ බව තම සංගමයට පෙනී යන බවත් ඒ සම්බන්ධයෙන් තම සංගමයේ දැඩි අප්‍රසාදය පළ කර ඉතා පිළිකුලෙන් යුතුව එකී ප්‍රහාර හෙළාදකින බවත් එම නිවේදනය මගින් පෙන්වාදී තිබේ.

සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල කළ එකී අමානුෂික මැර ප්‍රහාර අනුව රට තුළ නීතියේ ආධිපත්‍ය බිඳවැටී ඇති බව පෙනී යන්නේ යැයි ද එම නිවේදනය මගින් පෙන්වා දී ඇති කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය රට තුළ නීතියේ ආධිපත්‍ය නැවත ස්ථාපිත කර රටේ ජනතාවගේ මානව හිමිකම් සුරැකීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙසට රාජ්‍ය නායකයන් ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

එකී මැරවරයින් සහ ඔවුනට නායකත්වය දුන් දේශපාලනඥයන් වහාම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට ද ඉල්ලා සිටි එම නීතිඥ සංගමය ප්‍රහාරවලට ගොදුරු වූ ජනතාවට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරන බවත් එම නිවේදනය මගින් පෙන්වාදී තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment