මැස්සා එක්ක ජීවිතේ – දසුන්

179

දසුන් පතිරණ මේ දිනවල රංගනයෙන් දායක වන නවතම ටෙලිනාට්‍යය තමයි මැස්සා. මැස්සා ගැන වගේම දස්සාගේ නවතම තොරතුරු දැනගැනීමට අපි ඔහුත් සමග කතාබහ කළා.

● දසුන් මේ දවස්වල මැස්සා එක්ක ජීවිතේ කොහොමද?
 

 මැස්සා එක්ක මේ දවස්වල ජීවිතේ ගොඩක් හොඳයි. ප්‍රේක්ෂකයෝ අතර පියාඹමින් ඉන්නවා.

● මැස්සා ගැන විස්තර ටිකක් අපි කියමුද ?
 

 මැස්සා කියන්නෙ මම රංගනයෙන් දායකවන අලුත්ම ටෙලිනාට්‍යය. ගිරිදේවි” අඳුන්ගිර වැනි ටෙලිනාට්‍යය නිර්මාණය කරපු ඉන්දික ධර්මතිලක තමයි මැස්සා අධ්‍යක්ෂණය කරන්නෙ. කුණු කාණුවෙ මැස්සො වගේ ඉපදිලා මුඩුක්කුවල හැදිලා වැඩිලා” ඒ ජරාජීර්ණ සමාජ තත්ත්වයෙන් ගොඩයන්න උත්සාහ කරන කොළඹ තාරුණ්‍යයේ ඇත්ත පැතිකඩ කියන වෙනස් නිර්මාණයක් තමයි මැස්සා කියන්නෙ.

● ඔබ ටෙලිනාට්‍යයවල වගේම සිනමාපටවලත් රංගනයෙන් දායකවන නළුවෙක්. අන්තිමට ඔබ රංගනයෙන් දායක වුණ ‘මාරියා. චිත්‍රපටය ගැන කතා කළොත් ?
 

 අරුණ ජයවර්ධනගේ මාරියා චිත්‍රපටයෙ තමයි මම අන්තිමට රඟපෑවෙ. මාරියා ගැන විශේෂයෙන් කිව්වොත් ඒ පිටපත රචනා වෙන්නෙ අධ්‍යක්ෂවරයාගේ විවිධ අත්දැකීම් සහ පර්යේෂණවල ප්‍රතිඵලයක් විදිහට. වෙනස් මාතෘකාවක්. ලංකාවේ සිනමාවෙ වෙනස් වැඩක්. ඉතින් ප්‍රේක්ෂකයන්ටත් මාරියා රහක් තියන අලුත් අත්දැකීමක් වෙයි කියලා හිතනවා.

● මාරියාවල දස්සාගෙ චරිතෙ මොකක්ද ?
 

 ඒක මෙහෙම කියමු. මම තමයි කතාවෙ ආගන්තුකයා. ඊට වැඩිය විස්තර කරන්න ගියොත් කතාවම කියවෙන නිසා චිත්‍රපටය තිරගත වනතුරු ඉවසමු.

● චරිතයක් භාරගන්නකොට ඔබ සැලකිලිමත් වෙන කරුණු මොනවද?

 අනිවාර්යෙන් පිටපත බලනවා. කතාවෙ ගලායෑම ගැන බලනවා. ඒ වගේම කවුද අධ්‍යක්ෂණය කරන්නෙ” නිෂ්පාදනය කරන්නෙ කියලා බලනවා. ගොඩක් වෙලාවට වැඩකරන්න පහසු අයගෙ නිර්මාණ තමයි භාරගන්නෙ.

● දසුන් පතිරණ කියන්නෙ කවදත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙන නළුවෙක්. මොකද හිතන්නෙ මේ ගැන ?
 

 ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ඒ ආදරය ගැන ගොඩක් සතුටුයි. මම කරන රංගනයෙන් ප්‍රේක්ෂකයන් කොච්චර තෘප්තිමත් වෙනවද ඒ තමයි මම ලබන සැබෑම සම්මානය. ඒ හැරුනහම භෞතිකව සම්මාන බලාපොරොත්තුවෙන් නිර්මාණවලට සම්බන්ධ වෙන කෙනෙක් නෙමෙයි මම. ප්‍රේක්ෂකයන් සතුටු කිරීම තමයි මගේ එකම අරමුණ.

ඔබට අනුව නළුවෙක් වෙන එක ලේසි වැඩක්ද ?
 

 නැහැ. අනිවාර්යයෙන් අමාරු වැඩක්. දක්ෂ නළුවෙක් වෙන්න නම් යම්කිසි හැදෑරීමක් කරන්න ඕන. කැපවීමකින් වගේම කිසියම් කාලයක් ගතකරලා තමන් තුළ ඉන්න නළුවාව ඔපමට්ටම් කරලා හදාගන්න ඕන.

දසුන් වැඩියෙන්ම රඟපාලා තියෙන්නෙ කලාත්මක චිත්‍රපටවලද ?
 

 ඔව්. නළුවෙක් විදිහට කලාත්මක චිත්‍රපට ද වාණිජ චිත්‍රපටද කියලා මගේ බේදයක් නැහැ. මට ගැළපෙනවා කියලා හිතෙනවා නම් ඕන චිත්‍රපටයක මම රඟපානවා. නමුත් වැඩි වශයෙන් මට ලැබිලා තියෙන්නෙ කලාත්මක චිත්‍රපටවල චරිත.

ලංකාවේ කලාත්මක චිත්‍රපට කොච්චර ක්‍රියෙටිව් විදිහට නිර්මාණය වුණත් ප්‍රේක්ෂකයන්ගෙ වැඩි නැඹුරුව තියෙන්නෙ වාණිජ සිනමාවට නේද ?

 ලංකාවේ විතරක් නෙමෙයි ඒක ලෝකෙම තියන පොදු තත්ත්වයක්. අපි ඉන්නෙ ගෙදරකනම් කලාත්මක සිනමාවයි වාණිජ සිනමාවයි ඒ ගෙදර තියන කාමර දෙකක් වගේ කියලා තමයි මම හිතන්නෙ. ඔය දෙකටම ගෙදර ඉන්න මිනිස්සු අවශ්‍ය වෙලාවට යන එනවා.

ලංකාවේ සිනමාව අද තිබෙන තත්ත්වය ගැන ඔබේ අදහස මොකක්ද ?

 මම හිතන්නෙ ඉතාම දරණු තත්ත්වයක් තියෙන්නෙ. මේක ඇත්තටම ඛේදවාචකයක්. මේ ඛේදවාචකයෙන් වැඩිපුරම බැට කන්නෙ කලාකරුවො සහ මේ නිර්මාණවල වැඩකරන ශිල්පීන්. රට පාලනය කරන දේශපාලනඥයන්ගෙන් සිනමා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් යමක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. එහෙම බලාපොරොත්තු වුණත් එයාලා කරන්නෙත් නැහැ. අපිම තමයි මොකක් හරි වැඩපිළිවෙළක් යටතෙ මේ කර්මාන්තය නඟාසිටුවන්න උත්සාහ කරන්න ඕන.

ප්‍රේක්ෂකයො එල්ල කරන චෝදනාවක් තමයි රංගනය ගැන කිසිම දැනුමක් නැති අය නළු නිළියන් විදිහට ක්ෂේත්‍රයට ආපු නිසා චිත්‍රපටවල ගුණාත්මක භාවය අඩුවෙලා සිනමාව පහළ තත්ත්වයට ඇදවැටුනා කියලා. මේ ගැන මොකද හිතන්නෙ ?
 

 නෑ” ඒක නළු නිළියන්ගෙ වරදක් කියලා කියන්න බැහැ. අධ්‍යක්ෂවරයා දැනගන්න ඕන රඟපාන්න පුළුවන් නළු නිළියො නිර්මාණවලට සම්බන්ධ කරගන්න. හරි ශිල්පීන් සම්බන්ධ කරගන්නෙ නැතුව බාල නිර්මාණ කිරීමෙනුයි ඔය කියන තත්ත්වය මතුවුණේ.

ලංකාවෙ තිබෙන මේ ආර්ථික අර්බුදයත් එක්ක ලංකාවේ ඉදිරි සිනමාවට මොකක් වෙයිද ?
 

 ඒ ගැන නම් හරි අදහසක් නැහැ. සිනමාව විතරක් නෙමෙයි හැම ක්ෂේත්‍රයක්ම මේ අර්බුදය නිසා බැට කනවා. ඉතින් එවැනි තත්ත්වයක් උඩ සිනමාවට මොකක් වෙයිද කියන එක හරි අවිනිශ්චිතයි.

දසුන්ව ඉදිරියේදී දැකගත හැකි නිර්මාණ ගැන ප්‍රේක්ෂකයන්ට මතක් කළොත් ?
 

 මැස්සා ටෙලිනාට්‍යය මේ දවස්වල සති අන්තයේ රාත්‍රී 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවෙ විකාශය වෙනවා. ඒ හැරුනහම අරුණ ජයවර්ධන නිර්මාණය කළ මාරියා” මහාචාර්ය ආරියරත්න ඇතුගල අධ්‍යක්ෂණය කළ සහෝ චිත්‍රපටය සහ සුදේශ් වසන්ත පීරිස්ගේ ‘සීරුවෙන්. කියන චිත්‍රපට ත්‍රිත්වය තුළින් ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී මාව දකින්න පුළුවන්.

සටහන –  ලක්ෂාන් නිලංක

advertistmentadvertistment
advertistmentadvertistment