මිටින් මුදා හැර ගැටුම් ලිහාගමු

69

යාපනයේ පළවන ද්‍රවිඩ පුවත්පතක් වන ”තිනකුරල්” සමග මා කළ සම්මුඛ සාකච්ඡාවක් පසුගිය ඉරිදා එම පත‍්‍රයේ පළ කර තිබිණ. මෙහිදී එම පත‍්‍රය නියෝජනය කරමින් මගෙන් ප‍්‍රශ්න කර සිටි පුවත්පත් කලාවේදියා මතු කළ එක් ප‍්‍රශ්නයකට මා දුන් පිළිතුර ඒ ලෙසින්ම ”සිතමු” තීරු ලිපියෙන් ඔබට ඉදිරිපත් කිරීම සුදුසු යැයි කල්පනා කළෙමි.

”ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව මුහුණ දී ඇති ප‍්‍රශ්න ඔබ දකින්නේ කෙසේද?” යන්න එම ප‍්‍රශ්නය විය. එයට මා දුන් පිළිතුර ඒ අයුරින්ම පහත සඳහන් කරන්නෙමි. මා එලෙස ඒ පිළිතුර ඒ අයුරින්ම උපුටා දක්වන්නට කල්පනා කළේ, මේ ප‍්‍රශ්න ගැන අප දෙන පිළිතුර උතුරට එක පිළිතුරක්ද, දකුණට තව පිළිතුරක්ද වීමේ ඓතිහාසික වරද, අප නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරය වෙතින් සිදු නොවන බව වැඩිදුරටත් සනාථ කිරීම මැනවයි කල්පනා කරන හෙයිනි. උතුරට, දකුණට, නැගෙනහිරට වෙනස් අයුරින් අමතමින් පටු දේශපාලන ලාභ ප‍්‍රයෝජන සඳහා කරන ඇවිස්සීම් සහිත දේශපාලනය අප රටට උරුම කර දුන් විපාකයන් හා පසුබෑම් දැන්වත් අප තේරුම් බේරුම් කරගත යුතුව ඇත. ඒ සාම්ප‍්‍රදායික දේශපාලනය වෙනුවට, උතුර, දකුණ, නැගෙනහිර ඇතුළු සියලූ කොටස් එක් කර ගන්නා වූ උඩුගං බලා යෑමක් ඇරඹීම තවදුරටත් ප‍්‍රමාද නොකළ යුතුය. පහත දැක්වෙන්නේ යාපනයේ තිනකුරල් පත‍්‍රයේ එම ප‍්‍රශ්නයට මා දුන් පිළිතුරයි.

”දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න මම දකින්නේ, සාම්ප‍්‍රදායිකව ඔබ සැම එය දකින අයුරින් නොවේ. මේ රටේ දෙමළ ජනතාව මුහුණදී ඇති ප‍්‍රශ්න හුදෙක් දෙමළ ජනතාවට පමණක් කොටුකර දකින්නට මම කැමති නැහැ. ඒ ප‍්‍රශ්න ඒ ලෙසින් ලගු කළ යුතු නැහැ. දෙමළ ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්න සියල්ලම මම දකින්නේ, එම ප‍්‍රශ්න, අප සියල්ලගේම ප‍්‍රශ්න ලෙසයි. ඒ ප‍්‍රශ්න, අපේ රටේ ප‍්‍රශ්න. ඒ ප‍්‍රශ්න, අපේ ජාතික ප‍්‍රශ්න. ඒ ප‍්‍රශ්න, අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නයන්. ඒ ප‍්‍රශ්න, සැමට සමානව සලකනවාද යන්න පිළිබඳ ප‍්‍රශ්නයන්. ඒ ප‍්‍රශ්න, මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රශ්නයන්. ඒ ප‍්‍රශ්න, අපේ රටේ නීතියේ ආධිපත්‍යය හා බැඳි ප‍්‍රශ්නයන්.”

”මේ රටේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න මේ රටේ වාසය කරන සිංහල, දෙමළ, මුස්ලිම් අප සැමගේම ප‍්‍රශ්න ලෙස අප සැලකිය යුතු වෙනවා. අපි එකම මිනිස් පවුලක්. එය උතුර, දකුණ, නැගෙනහිර හෝ වතුකරය වුවද අපි එකම මිනිස් පවුලක්. අපේ ඇඟේ තුවාලයක් ඇතිවුවහොත් එය මුළු ශරීරයටම බලපානවා. එම නිසා අපි සියලූ දෙනාම එක්වී එය සුව කරගත යුතු වෙනවා. සමහර දේශපාලන බලවේග මෙන්ම සමහර ව්‍යාපාරික කොටස් නිලමැස්සො වගේ මේ තුවාලවලින්ම තමයි පැවැත්ම හොයන්නේ. ජීවත් වන්නේ.”

”මේ සාම්ප‍්‍රදායික දේශපාලන බලවේග මෙන්ම මේවා පිටුපස සිටින ව්‍යාපාරික කොටස් තම අරමුණු ඉටුකර ගැන්ම සඳහා මිනිස් ජීවිත පවා මායිම් කරන්නේ නැහැ. මේ යථාර්ථයන් අප තේරුම් ගත යුතුව තිබෙනවා. මේ සාම්ප‍්‍රදායික, දුෂ්ට දේශපාලනයේ නිමාවක් අප දැකිය යුතුව තිබෙනවා.”

”අපි එකම රටක්, එක ජාතියක් කියන තැනට ශ‍්‍රී ලංකාව ගෙන ආ යුතුව තියෙනවා. විවිධත්වය තුළ එකමුතුව (unity in diversity) අපේ රටේ ශක්තිය බවට පත්කරගත යුතුව තිබෙනවා. මේ අයුරින් සිතන විදියට, අපේ සිතීමේ ක‍්‍රමය ආ යුතුව තිබෙනවා. ඒ සඳහා ප‍්‍රබල දේශපාලන අධිෂ්ඨානයක් තිබිය යුතු වෙනවා. ”one country” one nation” one people”

(එකම රටක්, එකම ජාතියක්, එකම ජනතාවක්.) යන්න, සිංගප්පූරුව තුන්වන ලෝකයේ රටක්ව සිට පළමු ලෝකය දක්වා පැමිණි ගමනේ තේමාව වුණා. ඒ සඳහා ප‍්‍රබල දේශපාලන අධිෂ්ඨානයක් නායකත්වයක් තිබුණා. කුලීකරුවන්ගේ දේශයක් ලෙස හැඳින්වුණු රටක්, ස්වභාව ධර්මයෙන් කිසිදු සම්පතක් උරුම නොවුණු රටක් ලොව ඉහළම ඒක පුද්ගල ආදායම ලබන පළමු රටවල් පහ අතරට ඒමේ මූලික රහස රටේ අභ්‍යන්තර ප‍්‍රශ්න සියල්ල බින්දුවේ මට්ටමට ගෙන ඒමයි. අපද අප‍්‍රමාදව අපේ සිතීමේ ක‍්‍රමය වෙනස් කරගත යුතුව තිබෙනවා. අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකරගත යුතුව තිබෙනවා. නැත්නම් අපි අපේ අනාගත පරම්පරාවනට භාර දෙන්න යන්නේ අඳුරු අනාගතයක්.”

වෛරය වෛරයෙන් ජය ගැන්ම වෙනුවට, වෛරය අවෛරයෙන් ජය ගැන්මේ පාඩම හිස් වචන බවට පත්නොකර, එය තම හැසිරීමෙන්ම, භාවිතයෙන්ම පෙන්වූ නායකයෙකු ලෙස මම දකින නෙල්සන් මැන්ඩෙලාගේ ප‍්‍රකාශයකින් මේ තීරු ලිපිය සමාප්ත කරන්නට කැමත්තෙමි. ඔහු මේ ප‍්‍රකාශය කළේ සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු ඔහු වෙතින් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

”අපි බුද්ධියෙන් අපේ හැඟීම් පාලනය කරගත යුතුයි. නිදහස අහිමිව සුදු සුළුතරයකගේ මර්දනයට පෑගෙමින් සිටි දකුණු අප‍්‍රිකානු කළු බහුතරය, සුදු ජාතිකයන්ව දුටුවේ සතුරන් ලෙසින් බව ඇත්ත. මමත් ඒ මර්දනය පිළිකුල් කළා. අපට ඒ ගැන කේන්තියක් තිබුණා. ඒත් අපට මෙලොව ජීවත්වන්නට ලැබෙන්නේ සීමිත කාලයක්. ඒ තුළදී මගේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක්, වර්ගවාදී නොවන සමාජයක් බවට පත්කරගන්නට කටයුතු කළ යුතු බවට මට අධිෂ්ඨානයක් තිබුණා. ඒ නිසා අපි අපේ ආත්මය තුළ තිබෙන ධනාත්මක නොවන වෛරී සහගත, ද්වේෂ සහගත අදහස් බුද්ධියෙන් පරාජය කර දැමිය යුතු වෙනවා. ඒ අනුවයි, වසර ගණනාවක් මාව සිරගත කරගෙන තිබීම පිළිබඳ හැඟීම්, අපේ සමාජය මර්දනය කරගෙන සිටීම නිසා ඇති හැඟීම්, බුද්ධියෙන් පරාජය කර දමා, සතුරා සමග කථා කර සංහිඳියාවක් ඇතිකර ගැන්මට කටයුතු ආරම්භ කළේ ඒ තුළින් අපේ සමාජයේ බුර බුරා නගින්නට තිබූ ගිනිදැල් නිවා දමන්නට අපට පුළුවන් වුණා.”

advertistmentadvertistment
advertistmentadvertistment