මිටිය විසි කිරීමේ පැරැණි වාර්තාව මීටර් දෙකකින් විසි වේ

130

නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ ශානිකා සමන්මලී විසින් 2019 වසරේදී මීටර් 34.45 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් පිහිටුවා තිබුණු වයස අවුරුදු 18 න් පහළ බාලිකා මිටිය විසි කිරීමේ වාර්තාව බිඳ හෙළන්නට නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලයේ යුතාරා දිදුලී ජයවීර ඊයේ (09) සමත් වූවාය.

පැවැති ජාතික කනිෂ්ඨ වාර්තාව අභිබවා යමින් ඇය විසි කරන ලද මිටියේ දුර ප්‍රමාණය මීටර් 36.79 ක් ලෙස සටහන් වුණි. එය පැවැති වාර්තාවට වඩා මීටර් 2.34 ක දක්ෂතාවයකි. යුතාරා දිදුලී ජයවීර මෙම දක්ෂතාවය ප්‍රදර්ශනය කළේ හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී දැන් ක්‍රියාත්මක ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා උළෙලට සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ මෙහෙයවීමෙන් ඉකුත් ඉරිදා (07) දින ආරම්භ කෙරුණු මෙම තරගාවලියේ අවසන් දිනයේ ජවන හා පිටිය තරග ඉසව් අද (10) පැවැත්වේ.

අවුරුදු 23 න් පහළ කවපෙත්ත විසි කිරීමේ ඉසව්වේ දී නව වාර්තාවක් බිහි කරමින් උතුරට ගෞරවය එක් කළ යාපනය හාට්ලී විදුහලේ එස්. කුමාර් මිතුන්රාජ් ඊයේ (09) දිනයේ දී මිටිය විසි කිරීමේ ඉසව්වේ ද රන් පදක්කම දිනා ගැනීම කැපී පෙනුණි.

මේ අතර වාරයේ පෙරේදා (08) පැවැති අවුරුදු 23 න් පහළ පිරිමි මීටර් 200 නව තරග වාර්තාව මූලික වටයේදී තම නමින් ලියවා ගැනීමට යුද හමුදාවේ අයි.කේ.බී. අභයවර්ධන සමත් විය. අභයවර්ධන ඒ සඳහා සටහන් කළ කාලය තත්. 21.42 කි.

2018 වසරේදී සචිත් පෙරේරා සහ එම්. එස්. එම්. සෆාන් යන ක්‍රීඩකයින් දෙපළ විසින් පිහිටුවා තිබුණු තත්. 21.5 ක වාර්තාව ඒ අනුව බිඳ වැටුණි. මීටර් 200 අවසන් තරගයේ රන් පදක්කම දිනා ගැනීමට අභයවර්ධන මෙවර සමත් වුවද ඒ සඳහා ගත කළ කාලය තත්. 21.65 කි.

රන් පදක්කම් ලාභීන්

● අවුරුදු 23 න් පහළ දුර පැනීම

ඉනුර කවිෂාන් පියසිරි (යුද හමුදාව) මීටර් 7.39

● අවුරුදු 20 න් පහළ මීටර් 10000

  1. සුමන් කීරන් (කිලිනොච්චිය මුලන්කාවිල් ජාතික පාසල) මි. 35.35.92

● අවුරුදු 23 න් පහළ මීටර් 10000

එම්.එස්.ඒ. ප්‍රනාන්දු (කොළඹ) මි.33.29.62

● අවුරුදු 16 න් පහළ හෙල්ල විසි කිරීම

පවන් ඉඳුවර (වෙන්නප්පුව ජෝසප් වාස් විදුහල) මීටර් 52.43

● අවුරුදු 23 න් පහළ මිටිය විසිකිරීම එස්. කුමාර් මිතුන්රාජ් (යාපනය හාට්ලි විදුහල) මීටර් 38.91

● අවුරුදු 18 න් පහළ හෙල්ල විසි කිරීම

සදීප ඉරෝෂ් (වෙන්නප්පුව ජෝසප් වාස් විදුහල) මීටර් 56.00

● අවුරුදු 23 න් පහළ කිලෝමීටර් 10 තරග ඇවිදීම

ආර්. පී. අයි. ඩබ්ලිව්. නාරම්පනාව (යුද හමුදාව) මි. 51.56.09

● අවුරුදු 20 න් පහළ කිලෝමීටර් 10 තරග ඇවිදීම

ජී. ආර්. එස්. ආර්. බී. ගොඩිගමුව (පිළිමතලාව මධ්‍ය මහා විදුහල) පැය 1.01.36.49

● අවුරුදු 18 න් පහළ කිලෝමීටර් 10 තරග ඇවිදීම

චතුර සම්පත් (ගාල්ල පිටදෙනිය මහ විදුහල) පැය.1.02.23.39

රන් පදක්කම් ලාභීනියන්

● අවුරුදු 16 න් පහල මිටිය විසි කිරීම

රනුදී වීරවර්ධන (කොළඹ විශාඛා විදුහල) මීටර් 23.39

● අවුරුදු 23 න් පහළ මීටර් 10.000

නයනා සෙව්වන්දි (කළුතර) මි.45.25.87

● අවුරුදු 20 න් පහළ දුර පැනීම

එච්.එම්.එන්.එම්. හේරත් (බිබිල නන්නපුරාව මහා විදුහල) මීටර් 6.06

● අවුරුදු 23 න් පහළ දුර පැනීම

කේ. එල්. ඩී. එම්. තනීෂියා ජොන්නා (නිදහස්) මීටර් 5.43

● අවුරුදු 23 න් පහළ කිලෝ මීටර් 10 තරග ඇවිදීම හෂිනි ලක්ෂානී (ගාල්ල පිටදෙනිය මහා විදුහල) මි. 59.14.47

● අවුරුදු 20න් පහළ කිලෝමීටර් 10 තරග ඇවිදීම

ජී. ආර්. සී. එස්. කුමාරි (පිළිමතලාව මධ්‍ය මහා විදුහල) පැය 1.16.11.85

අනුරුද්ධ හේරත් බණ්ඩාර

ඡායාරූප – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment