මිත්තනිය මියගිය පසු අතුරුදන් වුණ දැරිය හමුවෙයි : අම්මාගේ අවධානය ගන්න කළ වැඩක්

964

වැලිගම, මූදුගමුව ප‍්‍රදේශයේ ගම්මානයක පදිංචිව සිටි වයස අවුරුදු දහතුනක් වයසැති දැරියක් අතුරුදන්වීමෙන් අනතුරුව සොයාගත් බව වැලිගම පොලිසිය පවසයි. සිය දෙමාපියන් සමග නිවසේ සිටි එම දැරිය හැදී වැඞී ඇත්තේ සිය මිත්තනිය සමගිනි. මිත්තනිය පසුගිය මාස කීපයකට පෙර මියගොස් ඇත. ඉන් පසුව මව දැරිය කෙරෙහි අවධානය යොමු නොකිරීම හේතුවෙන් ඇය හොරණ ප‍්‍රදේශයේ සිටින නැන්දා කෙනකුගේ ගෙදර යෑමට අදහස් කර වැලිගම දුම්රියපළට පැමිණ කළුතරට ටිකට් පතක් රැගෙන තිබේ. මේ අතර ඇය සමග හිතවත්කමක් ගොඩනගා ගත් වැලිගම පදිංචි 55 හැවිරිදි පුද්ගලයකු ඇයට නැන්දාගේ නිවසට යෑමට උදව් කරන බව පවසා ඇත. මේ සිද්ධිය වන අතරතුර වැලිගම පොලිසියට දැරියගේ මවගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව කි‍්‍රයාත්මක වූ වැලිගම මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ඞී. එම්. අබේසේකර මහතා දැරිය පිළිබඳව විමර්ශන කරන ලෙස පොලිස් මැසේජ් මාර්ගයෙන් පොලිස් ස්ථාන වෙත දන්වා ඇත. මේ අතර දැරිය ඇය සමග හිතවත් වූ පුද්ගලයාගෙන් තාත්තාට දුරකථන ඇමතුමක් ලබාදීම සඳහා ජංගම දුරකථනය ඉල්ලා ඇත. එහෙත් එය ලබාදීමට එම පුද්ගලයා අකමැති වී තිබේ. දැරිය සහ අදාළ පුද්ගලයා අතර වන සිදුවීම බලා සිටි ඉදිරිපස අසුනක සිටි මගියකු මේ පිළිබඳව සැක සිතී පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා ඇත. ඒ අනුව ක්‍ෂණිකව කි‍්‍රයාත්මක වූ කළුතර පොලිසියේ නිලධාරීන් විසින් කළුතර දුම්රියපළට ගොස් දැරිය සහ අදාළ පුද්ගලයා පොලිස් භාරයට ගෙන ඇත. පසුව ඔවුන් වැලිගම පොලිසියට ගෙනැවිත් මාතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ. දැරිය මේ වනවිට වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.

දැරිය මෙලෙස මාපියන්ට හොරෙන් නිවසින් බැහැරට ගොස් ඇත්තේ මවගේ අවධානය ඇය කෙරෙහි යොමු නොකිරීම හේතුවෙන් යැයි වැලිගම පොලිසිය පවසයි. වැලිගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ඞී. එම්. අබේසේකර මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ධනංජය, කා. පො. සැ. (628) දයානි, පො.සැ. (59770) සේපාල යන නිලධාරීහු පරීක්‍ෂණ මෙහෙයවති.

ලලිත් පත්මසිරි – වැලිගම

advertistmentadvertistment
advertistmentadvertistment