මිත‍්‍රවරුනි, ඉස්තාලයෙන් පලාගිය අශ්වයා අල්වාගෙන එමු!

110

අපේ ජීවිත කාලය තුළ අප කිසි කලෙක අත් නොදුටු ණය අර්බුදයකට මෙන්ම විදේශ විනිමය පිළිබඳ අර්බුදයක් හා බැඳුණු ආර්ථික, දේශපාලනික සහ සමාජයීය අතින් දරුණු අභියෝගාත්මක යුගයක් අබියසට අද අපේ මාතෘ භූමිය පැමිණ තිබීම කිසිවකුට ප‍්‍රතික්‍ෂේප කළ නොහැකි යථාර්ථයක්මය.

එක් අවස්ථාවකදී හරිනි අමරසූරිය උගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරිය පවසා තිබුණා රට මුහුණ දී ඇති මේ අර්බුදයට ක්‍ෂණික විසඳුම් නැහැ කියලා. මේ ප‍්‍රකාශය තුළින්ම අද රට වැටී ඇති ප‍්‍රපාතයේ තරම අවබෝධ කර ගත හැකියි. එසේ වුවද අද ජනතාව මුහුණ දී ඇති දැවෙන මූලික ප‍්‍රශ්නවලට ක්‍ෂණික පිළියම් අවශ්‍ය වෙනවා. විදුලි කප්පාදුව, ගෑස් හිඟය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය, බෙහෙත් හිඟය වැනි අත්‍යවශ්‍ය කරුණුවලට ක්‍ෂණික පිළියම් අවශ්‍ය වෙනවා. මෙවැනි ජනතාවගේ අත්‍යවශ්‍ය වුවමනාවන් සඳහා අවශ්‍ය මුදල් ප‍්‍රමාණය ගැන කල්පනා කර ප‍්‍රතිව්‍යුහගතකරණයකට යෑමට ප‍්‍රමුඛතාව දී ස්වෛරී බැඳුම්කර සඳහා වන ගෙවීම් කල් දැමීම රටේ සිටින අග‍්‍රගන්‍ය ආර්ථික විශේෂඥයන් රජයෙන් ප‍්‍රසිද්ධියේ ලිඛිතව පවා ඉල්ලා සිටියදී රජය ඒ ඉල්ලීම් මායිම් කළේ නැහැ. අද රට තුළ ජනතාව පෝලිම්වල දස වධ විඳිමින් සිටිනවා. අද පෝලිම්වල ජනතාව මියයමින් සිටීම සහ ඝාතනය වීම් සිදුවෙමින් තිබෙනවා. ජනතාවගේ දුක් වේදනාවන්ට සංවේදී වීමකට වඩා පාලනයේ ප‍්‍රමුඛතාව තම ගජ මිතුරන් සතුටු කිරීමකට යන ගජ මිතුරු ධනවාදය වීම නොවේද අපි දකිමින් සිටින්නේ.

මට මේ අවස්ථාවේදී මතකයට එන්නේ ලෝකයේ ගෞරවයට පාත‍්‍ර වූ අග‍්‍රගන්‍ය ආර්ථික විශේෂඥයකු වන අමර්ත්‍යා සෙන්ග් දිළිඳු බව මිනුම් දඬු ගැන, ජනතාවගේ සුභසිද්ධිය මුල්කර ගත් ආර්ථික ක‍්‍රමයන් ගැන, සාමූහිකව තීන්දු ගැනීම්වල වැදගත්කම ගැන එතුමන් කර ඇති ප‍්‍රකාශයන් ලොව ඉහළ පෙළේ විද්වත් සාකච්ඡාවනට මුල් වෙලා තිබෙනවා. එතුමන් කර ඇති ඉතා ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් මෙහිලා උපුටා දක්වන්නට මම කැමතියි.

‘‘කි‍්‍රයාකාරී ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පවතින කිසිම රටක ඉතිහාසයේ කිසිම දිනක සාගතයක් ඇති වී නැහැ.’’

අද ලංකාව සාගතයක් අබියසටම පැමිණ තිබීමේ බය හැම අතින් පළවෙමින් තිබෙනවා. ආහාර සුරක්‍ෂිත බව ගැන සාකච්ඡා සිදුවෙමින් පවතිනවා. මිනිසුන්ගේ ආදායම් ගැන, වේතන ගැන සලකන කල අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමට මිනිසුන්ට පුළුවන්කමක් නැති තත්ත්වයක් අද උදා වී තිබෙනවා.

අමර්ත්‍යා සෙන් කියා ඇති අයුරින්ම මේ රටේ මේ හා සමාන තත්ත්වයක් අබියසට අපට එන්නට සිදුවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම හා සෘජුව බැඳුනු තත්ත්වයක්. රටේ මේ ආර්ථික ප‍්‍රශ්න ගැන ආර්ථික ගනුදෙනු ගැන පාර්ලිමේන්තුව මඟහැර යෑම අපි දිගටම දකිමින් සිටිනවා. මූල්‍ය පාලනයේ ප‍්‍රධාන වගකීම පවතින පාර්ලිමේන්තුව විසින් කරන කැඳවීම්වලට පවා ගරු නොකරමින් මහ බැංකුවේ ප‍්‍රධාන වගකිවයුත්තන් කටයුතු කරන අයුරු අපට දකින්නට සිදුව තිබෙනවා.

සුපිරි ධනපති පංතියේ ඉහළම අයවලුන් හා ජනපති සාකච්ඡා පැවැත්වුවද, මේ රටේ මධ්‍යම සහ පහළ මට්ටමේ නිෂ්පාදකයන් සමඟ සහ එම මට්ටමේ ව්‍යාපාරිකයන් සමඟ සංවාදවලට නොයෑම අපි දකිනවා.

මේ රටේ ජනගහනයෙන් ඉහළ ප‍්‍රතිශතයක් කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයට බැඳුනු ජීවිත ඇති අය. සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රකාශයට පටහැනිව, යමින් පොහොර සම්බන්ධව රජය දඩිබිඩි තීරණයක් ගත්තා. මෙහි ඵලවිපාක ගැන කතා කරන්න කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ සියයක් පමණ වූ විශ්වවිද්‍යාල ප‍්‍රජාව ජනපති සමඟ සාකච්ඡාවක් ඉල්ලා සිටිය ද එයට අවස්ථාව ලබා දීම සිදුවුණේ නැහැ. මේ තීන්දුව නිසා වී නිෂ්පාදනය, එළවළු නිෂ්පාදනය, අල නිෂ්පාදනය, තේ නිෂ්පාදනය ඇතුළු කෘෂි ක්‍ෂේත‍්‍රයේ විවිධ අංශවල නිෂ්පාදන බිඳ වැටුණා. අපනයන ආදායම් බිඳ වැටුණා. මේ ක්‍ෂේත‍්‍රවලින් ජීවත් වූ අයවලුන් දුගී බවට පත්කෙරුණා. ණයකරුවන් බවට පත්වුණා. මේ ක්‍ෂේත‍්‍රවල තීරණ තීන්දු ගැනීම්වලදී ඒ ක්‍ෂේත‍්‍රයන් හා බැඳි පාර්ශ්වයන් සමඟ සාකච්ඡාවනට යෑමට අවකාශ දීම් ප‍්‍රතික්‍ෂේප වුණා. මේ තත්ත්වයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට නොගැළපෙන තත්ත්වයක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු වසර පහකට වරක් ඡන්දය පාවිච්චි කිරීම පමණක් නොවේ. ලොව පිළිගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයන්වල ජනමත විචාරණයනට යෑම් ප‍්‍රධාන කාරණාවලදී සිදුවෙනවා. අදාළ පාර්ශ්ව සමඟ සංවාද සම්මුතීනට ඒම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවල සිදුවෙනවා. ශ‍්‍රී ලංකාව යනු ආසියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සෑහෙන කාලයක් තිස්සේ අත්විඳින ඉතිහාසයක් ඇති රටක්.

පසුගිය වසර කිහිපය තුළදීම අපි මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හැසිරීම දකිමින් සිටිනවා. මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, උද්දච්ඡ හැසිරීම කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රශ්නයට පමණක් සීමා වුණේ නැහැ. කොවිඩි ප‍්‍රශ්නයේදීත් මේ පාලනය හැසිරුණු අයුරු සිහිපත්කර බලන්න. ලොව පිළිගත් ඉහළ පෙළේ සෞඛ්‍ය විශේෂඥයකු වූ මලික් පීරිස් මහතා වැන්නන්ගේ උපදෙස් මායිම් නොකළ අයුරු ඔබට මතකද? මහාචාර්ය රවීන්‍ද්‍ර ප‍්‍රනාන්දු ප‍්‍රමුඛ මෙරට ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ අයවලුන් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් හා සමාන කරන විට බාල මට්ටමේ උදවිය ඉදිරියට දමා ඒ අයවලුන් හෑල්ලු කරන අයුරින් ප‍්‍රතිචාර දැක්වූ අයුරු මාධ්‍ය වාර්තාකර තිබුණා.

අදත් රට මුහුණ දී ඇති මෙම බිහිසුණු ආර්ථික අර්බුදය ඉදිරියේ ප‍්‍රධාන මූල්‍ය වගකීම පවතින පාර්ලිමේන්තුව මඟහැර යමින්, වත්මන් පාලනය පටු දේශපාලන අරමුණු සඳහා මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටිනවා. ඔවුන් මේ සෙල්ලම් කරනුයේ රටේ අනාගතය සමගයි.

අප අපේ ඉතිහාසයෙන් මෙන්ම ලෝක ඉතිහාසයෙන් ද උගත හැකි පාඩම් සිහියට නඟාගත යුතු වෙනවා. එදා 19 වැනි සියවසේ මුල් භාගය වන විට ඊජිප්තුව සමෘද්ධිමත් රටක්ව තිබුණා. ඒ එදා ඔටෝමන් කාලයේ අර්ධ ස්වයං පාලන තත්ත්වයක් ඊජිප්තුවේ තිබුණේ. 40 ගණන්වල ශ‍්‍රී ලංකාව ආසියාවේ ජපානයට පමණක් දෙවැනිව සිටි රටක්ව අපි ඉතිහාසයේ දකිනවා. එහෙත් පසු කාලයේ ලොව බලගතු රටවල මුදල් ඒ රටට ගලා යෑම සිදුවුණා. ණය වශයෙන් ඒ අධික පොලියට 1800 මැද භාගය වන විට කපු නිෂ්පාදනයන් සඳහා ලොව ඉහළ මිලක් තිබූ අවධියේදී, ලැබූ අධික ආදායම් හේතුවෙන් නිර්භයව බටහිරින් ණය ලබා ගැනීමට ඊජිප්තුව පෙළඹුණා. එහෙත් ඇමෙරිකාවේ සිවිල් යුද්ධ තත්ත්වය ඇතිවීමත් සමඟ ඒ අපනයන ආදායම් බිඳවැටීමෙන් ණය නැවත ගෙවා ගැනීමට නොහැකි අර්බුද තත්ත්වයකට ඊජිප්තුව පත්වුණා. මේ සමඟ ණය උගුලේ පැටලුණු ඊජිප්තුවට තම රට සතුව පැවති සූවස් ඇළේ අයිතියෙන් අඩකට ආසන්න කොටසක් බි‍්‍රතාන්‍යයට දෙන්නට 1875 දී සිදුවුණා.

ඉවක් බවක් නොමැතිව පෞද්ගලික මූල්‍ය ආයතනවලින් ඉහළ පොලී අනුපාතයනට මුදල් ණයට ගනිමින්, කිසිදු ඵලදායිතාවක් පෙන්විය නොහැකි සුදු අලි ව්‍යාපෘතීනට කළ මුදල් යෙදවීම්වල විපාකයන්ට අද අපේ රටට මුහුණ දෙන්නට සිදුව තිබෙනවා.

එදා ඊජිප්තුවට මුහුණ දෙන්නට සිදු වූ අයුරින් අද ශ‍්‍රී ලංකාව ද මේ වාතාවරණය තුළ ජාත්‍යන්තර දේශපාලන සහ ආර්ථික බල තරගය තුළ හැම අතින්ම පහරකෑම්වලට සහ පීඩනයන්ට ගොදුරු වී ඇති පාපන්දුවක තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා.

පාර්ලිමේන්තුව මඟහැර යමින්, සුපුරුදු දේශපාලන විජ්ජාවන් කරමින් රටේ අනාගතය සමඟ මේ කරන සෙල්ලම ගින්දර හා කරන සෙල්ලමක් බඳුය.

වගකීම් සහගතව රටේ අනාගතය ගැන කල්පනා කර රට නිසි මඟට ප‍්‍රවේශකර ගත යුතුව තිබෙනවා.

සුනු විසුණු වී ගිය ආර්ථිකයක්, 1977 දී භාර ගනිමින් ජේ. ආර්. ජයවර්ධනයන් මෙන්ම 1989 දී උතුරේ සහ දකුණේ ගිනි ඇවිලුණු රටක් භාර ගනිමින් ආර්. පේ‍්‍රමදාසයන් ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගනිමින්, අද චීනය, වියට්නාමය සහ ඉන්දියාව වැනි රටවල් ගමන් කරමින් සිටින දිශානතියට ලංකාව යොමු කරමින්, සංචාරක ආර්ථිකය1ක්, ඇඟලුම් ආර්ථිකයක් වැනි තේ පොල් රබර් අපනයන අභිබවා යන නව මාර්ග හඳුන්වා දෙමින්, මේ රට අලුත් මඟකට අවතීර්ණ කරමින් ගත් දුර දැක්මෙන් යුතු තීන්දු තීරණ මගේ සිහියට නැෙඟ්. තිරසාර ප‍්‍රතිපත්තිමය ගමනකට අවතීර්ණ වුවද ඒ නායකයන්ගේ අඩුපාඩු නොතිබුණා නොවේ. ඒ ධන සෘණ දෙපාර්ශ්වයෙන්ම පාඩම් උගෙන අපේ රට හරි මඟය ප‍්‍රවේශ කර ගත යුතු වෙමු.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment