මිත්‍යා මත අත හැරලා සෞඛය පුරුදු පිළිපදින්න… පරිස්සම් නොවුනොත් වැඩ වරදීවි…

290

එන්නත ගත්ත කියලා කොන්ඩෙ යන්නේ නෑ…

නියෝජ්‍ය සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදය මේ වන විට ලෝකයේ රටවල් තුළ සීඝ‍්‍රයෙන් පැතිර යමින් පවතී. එලෙස පැතිර යද්දී ශී‍්‍ර ලංකාවට ද ‘ඔමික්‍රෝන්’ ප‍්‍රභේදය ඇතුල්වී තිබේ. එය නිශ්චිතවම අනාවරණය වූයේ නයිජීරියාවේ සිට මෙරටට පැමිණි මාරවිල 37 හැවිරිදි කාන්තාවකටද මෙම ‘ඔමික්‍රෝන්’ ප‍්‍රභේදය ආසාදනය වී ඇති බවට කරන ලද කොවිඞ් පරීක්‍ෂණ වලදී තහවුරු වීමත් සමඟය. එබැවින් මෙහි අලූත්ම තොරතුරු හා තවත් තොරතුරු දැන ගැනුමට නියෝජ්‍ය සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සම්බන්ධ කරගත්තෙමු.

ප‍්‍රශ්නය – ඔමික්‍රෝන් ආසාදනය වූ කාන්තාවක හමුවීමත් සමඟ එහි අලූත්ම තත්ත්වය මොකක්ද?

පිළිතුර – මෙම කාන්තාවට දැන් සුවයි. මැය නයිජීරියාවේ ඉඳලා ආවේ නොවැම්බර් 24 වැනිදා. පසුව ඇයට කරන ලද කොවිඞ් පරීක්‍ෂණවලදී ඇයට ඔමික්‍රෝන් ආසාදනය වෙලා කියලා තහවුරු වුණා. අනතුරුව ඇයට ප‍්‍රතිකාර කිරීමෙන් පසු දැන් සුවයෙන් ඉන්නවා. මෙම කාන්තාව කොවිඞ් එන්නත් ලබා ගත්තේ නැති කෙනෙක් කියලත් තහවුරු වුණා. මේ වෙනකොට ඇයගේ සැමියා, නිවෙස් අවට පදිංචිකරුවන්, ඇය ගිය නිවෙස්වල අය, ඇය පැමිණි මගී ගුවන් යානයේ පැමිණි අය, කටුනායක ගුවන් තොටුපළේ දී ඇයට ආවරණය වූ පිරිස් සියලූදෙනා නිරෝධායනයට යොමු කරලයි තියෙන්නේ. ඊට පස්සේ ඒ අය පී.සී.ආර්. පරීක්‍ෂණවලට ලක් කරනවා.

ප‍්‍රශ්නය – මහජනතාව හැම වෙලාවකම හිතන දෙයක් තමයි දැන් එන්නත් මාත‍්‍රා දෙකයි, බූස්ටර් එන්නතයි අරන්නේ ඉන්නේ. දැන් කොවිඞ් හැදෙන්නේ නැහැ කියලා. මේ ගැන මොකද කියන්නේ?

පිළිතුර – කොවිඞ් එන්නත් ඔක්කොම ගත්තා කියලා මේ ලෙඬේ හැදෙන්නේ නැති වෙන්නේ නැහැ. එන්නත් ගත්තත් නැතත් කොවිඞ් හැදෙන්න පුළුවන්. ඒ නිසා මූලිකම දේ තමයි සෞඛ්‍ය පුරුදු නිසි අයුරින් අනුගමනය කිරීම.

ප‍්‍රශ්නය – ‘ඔමික්‍රෝන්’ වෛරසය වැළදිලා තියෙනවද කියලා හඳුනාගන්නේ කෙසේද? රෝග ලක්‍ෂණ මොනවාද?

පිළිතුර – උණ, කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව, තියෙනවා නම් වෛද්‍යවරයකු හමුවට යොමුවන්න. ඒක තමයි ඉතාමත්ම හොඳම දේ. මේ රෝග ලක්‍ෂණ තියෙද්දී ගමන් බිමන් යන්න එපා.

මිත්‍යා මත අත හැරලා සෞඛය පුරුදු පිළිපදින්න… පරිස්සම් නොවුනොත් වැඩ වරදීවි…

ප‍්‍රශ්නය – ඔමික්‍රෝන් වෛරසයෙන් මිදෙන්න ජනතාව අනුගමනය කළ යුතු දේ කුමක්ද?

පිළිතුර – නිවැරදිව මුව ආවරණ පැළදීම, සබන් යොදා තත්පර 20 ක් දෑත් හොඳින් සේදීම, දුරස්ථ භාවය තබාගෙන කටයුතු කිරීම කියන සෞඛ්‍ය පුරුදු මනාව අනුගමනය කිරීම තමයි ඉතා වැදගත් වෙන්නේ.

ප‍්‍රශ්නය – මේ මොහොතේ සෞඛ්‍ය පුරුදු අමතක කරලා වගකීමෙන් තොරව හැසිරෙන අයත් සමාජයේ ඕනෑ තරම් දකිනවා. එලෙස වගකීමෙන් තොරව හැසිරෙන අයට මොකද කියන්නේ?

පිළිතුර – වගකීමෙන් තොරව හැසිරීම නිසා ලක්‍ෂ 4 කට අධික පිරිසක් ඩෙල්ටා නිසා රෝගීන් වුණා. හැමෝම නෙවෙයි. සමහරක් අය මාස්ක් එක නිවැරදිව පළදින්නේ නැහැ. මාස්ක් එක එක්කො බෙල්ලේ, එහෙමත් නැත්නම් නිකටේ. සෞඛ්‍ය පුරුදු නිසි ආකාරව පිළිපැදීම ඉතා වැදගත්. තවත් සමහර අය ඒකරාශි වෙලා වැඩ කටයුතු කරන ආකාරයත් දකිනවා. මේකත් එච්චර හොඳ දෙයක් නොවෙයි. සෞඛ්‍ය අංශ ලබාදෙන සෞඛ්‍ය පුරුදු අමතක කළොත් ආයේ රැල්ලක් එන්න පුළුවන්. මොකද ඔමික්‍රෝන් ප‍්‍රභේදයත් ඉතා වේගයෙන් පැතිරෙන වෛරසයක්නේ. සෞඛ්‍ය අංශ මෙච්චර කාලයක් රැකගෙන ආ දේ රකින්න ජනතාවගේ සහයෝගයත් අවශ්‍යයි. එහෙම සහයෝගය නැති වුණොත් ඔමික්‍රෝන් රැල්ලක් එයි. සෞඛ්‍ය අංශවලට දරාගන්නත් බැරි වේවි. ඒ නිසා හැම කෙනෙක්ම වගකීමෙන් යුතුව සමාජයේ හැසිරෙන්න කියලා ඉල්ලා සිටිනවා.

කොවිඞ් එන්නත් මාත‍්‍රා ගත්තත් කොවිඞ් හැදෙනවා. නමුත් මේ එන්නත් මාත‍්‍රා ලබාගැනීම තුළින් ශරීරය තුළ ප‍්‍රතිශක්තීකරණය නිර්මාණය වෙනවා. එතකොට ඔමික්‍රෝන් නෙවෙයි වෙනත් කොවිඞ් රට තුළ හැඳුනත් තමන්ගේ ඇගේ ප‍්‍රතිශක්තිය තියෙනකොට රෝගියාට කොවිඞ් හැඳුනත් අසාධ්‍ය වෙන්නේ නැහැ.

ප‍්‍රශ්නය – දැන් ලබාදෙන කොවිඞ් එන්නත්වලින් හිසකෙස් ගැලවී යනවා කියලා ජනතාව තුළ මතයක් තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ?

පිළිතුර – කොවිඞ් එන්නත ගත්තා කියලා එහෙම හිසකෙස් යන්නේ නැහැ. ඕක ජනතාව තුළ තියෙන මිථ්‍යා මතයක්. එක එක අයගේ ශරීරවල හැටි. ඔය එන්නත ගහන්න කලින් වුණත් හිසකෙස් ගැලවී ගිය කොච්චර අය ඉන්නවාද? නමුත් මේ එන්නත ගැහුවාට හිසකෙස් ගැලවී යන්නේ නැහැ. ජනතාව මිථ්‍යා මත අමතක කරලා දාන්න ඕනෑ. මිත්‍යා මත පස්සේ ගියොත් ඉවරයි. මිථ්‍යා මත පස්සේ යන්නේ නැතුව නිවැරදි මාවතේ යෑම වැදගත්.

ප‍්‍රශ්නය – පෞද්ගලික උපකාරක (ටියුෂන්) පන්ති පැවැත්වීමට සුදුසුද?

පිළිතුර – තවමත් අපොස. උසස් පෙළ, සාමාන්‍ය පෙළ පන්තිවලින් පහළ ටියුෂන් පන්ති පවත්වාගෙන යෑමට අවසරය ලබාදීලා නැහැ. මොකද විශාල දරුවෝ පිරිසක් එකතුවෙනවනේ. කොහොම වුණත් දැනට අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න දරුවන් වෙනුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව පන්ති පවත්වාගෙන යන්න අවසරය දීලා තියෙනාව. ඒ පන්තිවලින් පහළ දරුවන් වෙනුවෙන් පන්ති පවත්වාගෙන යන්න අවසර අපි තාම දීලා නැහැ. දැනට දරුවෝ පාසලට යවන්න. අම්මලාගෙන් ඉල්ලා සිටිනවා කලබල වෙන්න එපා කියලා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment