මිතුරන් සේ සිටින අයගේ නිරුවත ඩලස් හෙළිකරයි

842

පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටු පත්කිරීමේදී බලාත්මක වෛරී දර්ශක පිළිබඳ අවධානය යොමු කිරීම නව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමෙන් අනතුරුව මෙහෙයුම් කමිටු සඳහා මන්ත්‍රීවරුන් පත්කිරීමේදී, ජූලි 20 වැනි දින පැවැති ජනාධිපතිවරණයේදී මා වෙත සෘජුවම සහාය පළකළ සහ ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව වෙහෙසුණු මහජන නියෝජිතයන් බොහෝ දෙනෙකු නැවත පත් නොකිරීමට ආණ්ඩුව උනන්දුවෙන් කටයුතු කොට තිබේ. එසේ අශිෂ්ට ලෙස දේශපාලන දණ්ඩනයට ගොදුරුව ඇති ඔවුන් සියලු දෙනා රජයේ වංචනික මෙන්ම අනීතික කටයුතු හෙළිදරව් කිරීම සඳහා කොන්දේසි විරහිතව පෙනීසිටි මහජන නියෝජිතයන් බැවින් ඒ පිළිබඳව මාගේ කනගාටුව ද විරෝධය ද එයට උරුම වූ පිළිකුල ද පළමුවෙන්ම මම මෙසේ සටහන් කරමි.

කතානායකතුමා විසින් පසුගිය සතියේ පාර්ලිමේන්තුවට අනාවරණය කරනු ලැබූ ලේඛනවලට අනුව, පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුව (Business Committee) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව (Public Finance Committee) සඳහා පත්වීම් සිදුකිරීමේදී මෙහෙයුම් කමිටුවේ අඛණ්ඩව දශක ගණනාවක් සේවය කළ මා ඉවත්කොට තිබීම අශීලාචාර වුවද අසංස්කෘතික දේශපාලන පරිසරයක එය තේරුම් ගත හැකි කරුණකි. එහෙත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මාගේ නම ස්ථිර කරනු ලැබූ මෙන්ම, මා මෙන්ම දිගු කාලයක් එම කමිටුව නියෝජනය කළ ජාත්‍යන්තරය පිළිගත් බුද්ධිමතෙකු වන පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී. ඇල් පීරිස් මහතා ඉවත් කිරීම මෙන්ම ජනාධිපතිවරණයේදී මාගේ ගණන් කිරීමේ නියෝජිතයා වූ නීතිඥ ඩිලාන් පෙරේරා සහ මාගේ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියකු වූ ආචාර්ය නාලක ගොඩහේවා යන මන්ත්‍රීන් දෙපළ ජාතික වගකීමක් සේ සලකා මහත් කැපවීමෙන් කටයුතු කළ ගිණුම් කාරක සභාවෙන් නෙරපාහැරීම නිසැකවම ස්වාභාවික යුක්තියේ මෙන්ම ජනතා පරමාධිපත්‍යයේ මූලධර්මයන්ද උල්ලංඝනය කිරීමකි.

කතානායකවරයා විසින් මෙතෙක් ප්‍රකාශයට පත් නොකළද, ඉහත සඳහන් කප්පාදු කිරීම්වලට අමතරව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කමිටුවේ (COPE) සභාපතිවරයා ලෙස දූෂණයන්ට එරෙහි අනම්‍ය පිළිවෙතක සිට කටයුතු කොට මහජන ගෞරවය ඉහළින් දිනාගත් මහාචාර්ය චරිත හේරත් මහතාගේ නමද ආණ්ඩුවේ ලේඛනයෙන් උගුල්වා පර්ලිමේන්තුව වෙත යොමුකොට ඇති බවද, ඔහු මා නියෝජනය කරමින් ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ බවද ඔබතුමාට රහසක් නොවේ. එසේම, මෙම කමිටුව නියෝජනය කරනු ලැබූ ආචාර්ය ගුණපාල රත්නසේකර මන්ත්‍රීවරයා ද මාගේ සමීපතම ආධාරකරුවෙකු වීම හේතුවෙන් මෙහිදී ආණ්ඩුවේ උදහසට ලක්ව ඇත.

අගමැතිතුමනි, එක් අතකින් ජනාධිපතිවරයා විසින් රට ගොඩනැගීම සඳහා සියලු බේද පසෙකලා සර්වපක්‍ෂික රජයක් පිහිටුවීම සඳහා යෝජනා කරන අතරතුර අනෙක් අතට, ජනාධිපතිවරණයේ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාද, ඔහුගේ සමීපතයන් ද මෙලෙස දඩයම් කිරීම තුළින් නැවත නැවතත් පිළිඹිඹු වන්නේ දශක ගණනාවක් පුරා ක්‍රියාත්මකව දැනට වියපත්ව, ගිලන්ව සිටින ශ්‍රී ලාංකේය කෛරාටික දේශපාලනයේ නෂ්ටාවශේෂ නොවේද?

මේ අනුව, නිසැකවම පැහැදිලි වනුයේ මීට දින 21 ට පෙර ජනාධිපතිතුමන් විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස එළිදක්වා ඇත්තේ අරුත්සුන් හිස් ප්‍රලාපයක් බව පමණි. එම නිසා, ජන සම්මත වාදය සහ ලිච්ඡවී ප්‍රතිපත්ති පිළිබඳව උස් හඬින් කතාකරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ උල්පත ලෙස සලකන පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ නිහඬව මේ ක්‍රියාත්මක කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට“ජරාතන්ත්‍රවාදය” ආදේශ කිරීමකියි යන මාගේ නිර්වචනය කාරුණිකව පිළිගනු මැනවි.

අගමැතිතුමනි, පාර්ලිමේන්තුව තුළ මිතුරන් සේ අතට අතදෙන බොහෝ දෙනාගේ ඇඟිලිකරු අතර නිර්වස්ත්‍රව පෙනෙන කුහකකම පසුකාලීනව හෝ හඳුනාගැනීමට හැකිවීම සතුටට කරුණකි. එම සතුට අපට දිරිය, සවිය හා ආරක්‍ෂාව සපයන යෝධ බලයන් වනවාද ඒකාන්තය. එබැවින්, කුමන කෙණෙහිලිකම් මැද වුවද අචලව අනාගතය දෙස පමණක් සුබවාදීව බැලීමට අපි ඒකමතිකව තීරණය කළෙමු.

මෙම ලිපිය කිසිවෙකු ගේ සිත රිදවීමේ අරමුණින් හෝ අප කිසිවකු ගේ අහිමි කළ තනතුරු ඉල්ලා කරනු ලබන ආයාචනයක් ලෙස හෝ ඒ වෙනුවෙන් කරනු ලබන බැගෑපත්වීමක් ලෙස නොව වත්මන් දෙබිඩි පාලනයේ දෙබිඩි පිළිවෙතට එරෙහි “උණ්ඩයක්” ලෙස ඔබතුමා විසින් පිළිගනු ඇතැයි යන්න මාගේ අවංක විශ්වාසයයි.

අවසාන වශයෙන්, මානව අයිතිවාසිකම් සහ පීඩනයන්ට එරෙහි සටනේ අද්විතීය චරිතයක් ලෙස ඔබතුමන්ගේ ද, මාගේද නොමද ගෞරවයට පාත්‍ර වූ මාටින් ලුතර් කිං නම් ශ්‍රේෂ්ඨයා ගේ යුගාන්තරව නොමියෙන වචන කීපයකින් මෙම සටහන නිමා කරමි. “සතුරන් නිර්මාණය කිරීමට ඔබට යුද්ධයක් අවශ්‍ය නැත. අවශ්‍ය වනුයේ ඔබගේ සිතුවිලි ඉදිරිපත් කිරීම පමණි.”

ඩලස් අලහප්පෙරුම (පා.ම.)

advertistmentadvertistment
advertistmentadvertistment