මිතුරාගේ බිරිඳ සමග අනියම් ඇසුරට වහවැටී හොඳම මිතුරා මරන්න කොන්ත්‍රාත්තුවක් දීලා

1293

මීගමුවේ කුළී මැරයින්ට වැඩේ ගැස්සී තිදෙනාම කොටුවෙලා
කඩුපහර එල්ලවූ මිතුරා බරපතළ තත්ත්වයෙන් ජාතික රෝහලේ
මිතුරාගේ බිරිඳත් වැඩේට හවුල්ලු

තම හොඳම මිතුරාගේ බිරිඳ සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු එම ඇසුරෙන් සිතූසේ සුවය විඳීමට අනියම් බිරිඳ සමග සම්බන්ධ වී මිතුරා ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් ප්‍රධාන සැකකරු හා අනුබල දුන් මිතුරාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව පාලියාගම නෑබඩවැව පදිංචි ප්‍රධාන සැකකරු හා එයට අනුබල ලබා දෙමින් තම විවාහක සැමියා මරා දැමීමට අනියම් සැමියාට උදව් දුන් සැකකාර බිරිඳ හා මෙම සිද්ධියේ මිනීමැරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගත් මීගමුව පදිංචිව සැකකරුවන් දෙදෙනෙකු වේ.

සත්ව ගොවිපලක ගොවිතැන් කටයුතු පවත්වාගෙන යන ගොවියකුගේ බිරිඳ සමග රහසේ අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය ඔහුගේ හොඳම මිතුරා විසින් මෙම ඝාතනය සිදුකර ඉන් පසුව ඔවුන් දෙදෙනා එකට දිවි ගෙවීමට සැලසුම් කර ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

සත්ත්ව ගොවිපල පවත්වාගෙන යන අයගේ බිරිඳ වැලිමඩ පදිංචිකාරියක් බවත් ඇයගේ දෙවන විවාහය ලෙස මෙම තැනැත්තා සමග විවාහ වී ඇති බවත් සදහන්ය.

ඔහු සමග එකට ජීවත් වෙමින් සිටියදී මෙම කාන්තාව හොර රහසේ තම සැමියාගේ මිතුරා සමග අනියම් ඇසුරක් කලක සිට පවත්වාගෙන ගොස් ඇත.

මෙම කාන්තාව හා දරුවන් වැලිමඩ මව්පියන් බැලීමටගොස් සිටියදී අදාළ තැනැත්තා ඝාතනය කිරීමට සැලසුම් සකස් කර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිව තිබේ.

ඒ අනුව මෙම කාන්තාව දරුවන් සමග වැලිමඩ ගොස් සිටියදී අනියම් සැමියා විසින් කලින් සැලසුම් කළ ආකාරයට මීගමුවේ පදිංචි කුළී මැරයින් දෙදෙනෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වී සත්ත්ව ගොවිපල පවත්වාගෙන යන අය මරා දැමීමට සැලසුම් කර ඇත.

එම සැලසුම අනුව මෙම කුළී මිනීමරුවන් පසුගිය 22 වෙනි දින රාත්‍රියේ කිසිවකුටත් සැක නොසිතන ලෙස ගොවියා නිවසේ නිදා සිටියදී නිවසට ඇතුල් වී මිතුරා නිදා සිටි ඇද අසලට ගොස් ඔහුගේ ගෙල කැපීමට ප්‍රධාන සැකකරු කුළී කොන්ත්‍රාත්කරුවන්ට හැකිවන ලෙස ගෙල තදින් අල්ලාගෙ ඇති බවද පරීක්ෂණ වලදී සනාථ වී තිබේ.

කෙසේ නමුත් නිදා සිටි ගොවියාගේ ගෙලට එල්ල වු දරුණු කඩු පහර වැරදී ගොස් කුළී මිනීමරන්නකුගේ දකුණු අතටද දරුණු කඩු පහරක් එල්ල වී ඇත.

එම කඩු පහරෙන් කුළී ඝාතකයාගේ ඇඟිලි සියල්ලම කැපී ඇති අතර දරුණු තුවාල සිදුව ඉන් පසුව ගොවියාගේ ගෙලට කඩු පහර වැදී තිබේ.

මෙම අවස්ථාවේ ගොවියා විලාප තබමින් කෑගසා ඇති බවත් ඒ වන විටත් නිවසේ අනෙක් කාමරයක නිදා සිටි පෙර දින රාත්‍රියේ හදිසියේ පැමිණ සිටි ඥාතියකුට එය ඇසී ඔහුද එකවර නින්දෙන් අවදී වීමත් සමග මෙම කුළී මිනීමරන්නන් හා ප්‍රධාන සැකකරු පලා ගොස් ඇත.

පසුව අසල්වාසීන් නිවසට පැමිණ දරුණු තුවාල ලබා සිටි ගොවියා කඩිනමින් ආණමඩුව රෝහලට රැගෙන ගොස් මූලික ප්‍රතිකාර ලබා දී ආණමඩුව රෝහලින් හලාවත මහ රෝහලට යවා ඉන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට කටයුතු කර ඇත.

මේ වන විට සිද්ධියට මුහුණ දුන් ගොවියා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

මේ පිළිබඳ ආණමඩුව පොලිසිය කඩිනමින් පරීක්ෂණ ආරම්භ කර වැලිමඩ ප්‍රදේශයට ගොස් සිටි බිරිඳ පිළිබඳ සැක සිතී කළ පරීක්ෂණවලින් පසුව සිද්ධියට සම්බන්ධ ගොවියාගේ හොඳම මිතුරා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමෙන් පසු සිද්ධියේ සුළමුල සොයා ගැනීමට හැකිව තිබුණි.

මෙම ගොවියාගේ ගෙල කපා දැමීමට යොදා ගත් කඩු හා පිහි පාලියාම නැබඩවැවට විසිකර තිබියදී සොයා ගෙන තිබුණි.

ඒ අනුව මෙම කුළී මිනීමරන්නන් ලෙස කොන්ත්‍රාත්තුව ලබා ගත් මීගමුව පදිංචි කරුවන් දෙදෙනා ව්‍යාජ නම් දෙකකින් රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් සමත්ව තිබුණි.

මේ සම්බන්ධව පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ උපදෙස් මත පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරි කේ.එස්.කේ. රූපසිංහ මහතාගේ මෙහෙය විමෙන් ආණමඩුව සහකාර පොලිස් අධිකාරි වෛද්‍යතිලක මහතාගේ අධීක්ෂණයෙන් ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ආර්. හේමන්ත නන්ද බංඩාර මහතා ඇතුළු අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ජයන්ත සමග පොලිස් සැරයන්වරුන් වන 16419 නාලක, 34208 කුමාර, 74620 රාජකරුණා, 67434 ප්‍රේමතිලක, පොලිස් කොස්තාපල්වරුන් වන 76376 රංග, 99393 සිල්වා යන නිලධාරින් විමර්ශන කටයුතු සිදුකරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අමරනන්ද විජේසේකර- මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment