මිදිගම රුවන්ගේ ජීවිත ආරක්‍ෂාවට උපරිම පියවර ගන්න

501

පොලිස්පතිට සහ ටීඅයිඩී අධ්‍යක්ෂට අභියාචනාධිකරණයෙන් නියෝග

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන පසුගිය 31 වැනිදා ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව මේ වනවිට ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවා සිටින ජයසේකර විතානගේ රුවන් චාමර හෙවත් මිදිගම රුවන් නමැත්තා උපරිම ආරක්ෂාවක් යටතේ රඳවා තබාගන්නා ලෙසත් ඔහුගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම පියවර ගන්නා ලෙසටත් අභියාචනාධිකරණය ඊයේ (07දා) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට හා පොලිස්පතිවරයාට නියෝග කළේය.

සිය පුත්‍රයාගේ ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බැවින් ඔහුගේ ජීවිත ආරක්ෂාව සැලසීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා රුවන් චාමර නමැත්තාගේ මව වන ජයසිංහ ආරච්චිගේ ඇසිලින් මහත්මිය ගොනු කර තිබූ පෙත්සමක් ඊයේ (07) කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය එම නියෝගය කළේය.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා බී. ශෂි මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ තනුක නන්දසිරි හා නීතිඥ සංජය ආරියදාස යන මහත්වරුන් සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දැක්වීය.

සිය සේවාදායකයාට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණ දෙකක් හමුවේ නඩු දෙකක් පවතින නමුත් කිසිදු චෝදනාවකට ඔහු වරදකරු බවට මේ දක්වා තීන්දු කොට නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි පුද්ගලයකුට ඉන් පලා යෑමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත් නීතිඥවරු අධිකරණයට පැවසූහ.

එම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන ජූලි මස 25 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඩුල්ල දින නියම කළේය.

පවුලේ සමීප ඥාතීන්ට ඔහු හමුවීමට සහ ඔහුගේ නීතිඥවරුන්ට පවතින නඩු කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබාගැනීමට ඔහු හමුවීමට අවසර ලබාදෙන ලෙසටද එම පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරිවරයා, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු 15 දෙනකු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.
ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment