මිදිගම රුවන් අපරාධ වමාරයි

138

ඩුබායි හි සිට රැගෙන ආ මෙරට ප්‍රධාන පෙළේ පාතාල අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන මිදිගම රුවන් නමැත්තා දකුණු පළාතේ සිදුවූ මිනිස් ඝාතන රැසක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රැසක් හෙළිකර ඇත.

ත්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් මිදිගම රුවන් ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන අතර පාතාල නායක හරක්කටාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යෑමට කළ සැලසුමට අදාළ සියලු තොරතුරු ද මිදිගම රුවන් විසින් අනාවරණය කර ඇති බව වාර්තා වෙයි.

හරක්කටාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යෑම සඳහා අවස්ථා දෙකක දී සැලසුම් සකස් කර ඒවා ක්‍රියාත්මක කර තිබුණේ ඩුබායි හි සිට මිදිගම රුවන් නමැති මෙම අපරාධකරු විසින් බව පොලිසිය පවසයි.

හරක්කටා අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවනු ලැබුවේ මිදිගම රුවන් විසින් බවද පොලිසිය කියා සිටියි. ඩුබායි හි හෝටලයකදී ඇතිවූ ගැටුමකින් පසු මිදිගම රුවන් එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ මීට මාස 2කට පමණ උඩදීය.

ඒ වනවිට මිදිගම රුවන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය විසින් ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුවක් ලබාගෙන තිබිණි.

ඒ අනුව අත්අඩංගුවට පත්ව සිටි මිදිගම රුවන් ශ්‍රී ලංකා පොලිසිය වෙත භාරදෙනු ලැබීය.

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් 31 වැනිදා අලුයම මෙම අපරාධකරු ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment