මිනිකැට මතුවන ඔක්කම්පිටිය පස්යට මිහිදන්ව ගිය අපරිමිත සහෝදර ප්‍රේමය…

958

සුරාජ් මධුශංක සහ අයේෂා ගයේශානි මෙලොව එළිය දකින්නේ එකම පවුලක වැඩිමහල් සහෝදරයා සහ බාල සහෝදරිය ලෙසින්ය. ඔවුන් දෙදෙනා හැරුණු කොට එම පවුලේ තවත් සහෝදරයෙක් සහ සහෝදරියක ගෙන් යුක්තය. සුමිත් ගජවීර හා එච්. එම්. විමලාවතී යුවළට දාව උපදින එම දරුවන් සිව්දෙනා ඇතුළු මව්පියන් යුවළගේ පදිංචිය ඔක්කම්පිටිය ගාමිණීපුරය. ප‍්‍රදේශවාසීන් විසින් මෙම පවුල පදිංචි නිවස හඳුන්වනු ලබන්නේ ‘කොළඹ ගෙදර’ යන නමින්ය.

කොළඹ ගෙදර දරුවන් සිව්දෙනා ප‍්‍රදේශයේ කා අතරත් ජනාදරයට පත්වන්නේ ගතිගුණ අතින් ගුණයහපත් සමාජශීලී දරුවන් පිරිසක් ලෙසින්ය. බහුලව ‘මැණික්’ මතුවන ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකට ඔක්කම්පිටියේ පදිංචි සුමිත් ගජවීර තම මිතුරන් හා නිතර නිතර පැවසූ කාරණයක් බවට පත්වූවේ තමන් සතුව අගනා මිණි කැට වන් දරුවන් සිව්දෙනකු සිටින බවත් ඔවුන් ගුණයහපත් බවින් ඔපවත්ව යහපත් පුරවැසියන් වනු දැකීම තමන්ගේ අපේක්‍ෂාව බවට පත්ව ඇති බවත්ය. මෙම මිණි කැට අතරින් වැඩිමහල් පිරිමි දරුවා වන සුරාජ් තිස් හැවිරිදිය. ඇඟලූම් ක්‍ෂේත‍්‍රයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන ඔහුගේ මංගල විවාහ උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ මේ මස 18 වන දිනටය. දෙවන දියණිය විවාහකය. විවාහයෙන් අනතුරුව ඇයගේ පදිංචිය බෙන්තොට හබුරුගල ප‍්‍රදේශයේය. පවුලේ තෙවැනියා ලෙස උපදින අයේෂා ගයේශානි 23 හැවිරිදිය. හෙදියක් වීමට සිහින දකිමින් සිටි ඇය ඒ සඳහා බදුල්ල හෙද විදුහලට ඇතුළත් වීමට නියමිතව සිටියේ අගෝස්තු මස 08 වැනි දිනය. බාල පුතණුවන් වන සුදෙව් ගජවීර තවමත් පසුවන්නේ අධ්‍යාපන කටයුතු සිදුකරමින්ය.

මිනිකැට මතුවන ඔක්කම්පිටිය පස්යට මිහිදන්ව ගිය අපරිමිත සහෝදර ප්‍රේමය…

සුරාජ්ගේ විවාහ උත්සවය පිණිස ඔවුන්ගේ නිවස වන කොළඹ ගෙදර අලූත්වැඩියා කටයුතු සිදුකරන බැවින් පසුගිය දින කීපය පුරා නිවසේ පැවතියේ තරමක් කලබලකාරී ස්වරූපයකි. පවුලේ සියලූ දෙනා එකාවන්ව විවිධ වැඩකටයුතුවල නිරතව සිට ඇත්තේ තවත් දින කීපයකින් පැවැත්වෙන තම වැඩිමහල් සහෝදරයාගේ මංගල උත්සවය ඉහළින්ම පැවැත්වීමේ අපේක්‍ෂාවෙනි. තම සහෝදරයාට සහයෝගය පිණිස සුරාජ්ගේ වැඩිමහල් නැගණිය වන වත්සලා මධුමාලි ඇයගේ ස්වාමිපුරුෂයා ඇතුළු සමීපතම ඥාතීන් පිරිසක් ඔක්කම්පිටියට පැමිණෙන්නේ ඉකුත් ජූලි මස 31 වැනිදාය.

එදින සුමිත් ගජවීරට අයත් ‘කොළඹ ගෙදර’ වෙනදාට නැති අමුතු සිරියකින් පිරීගිය තැනක් බවට පත්ව ඇත. සුරාජ්ගේ විවාහ මංගල උත්සවයත් ඊට දින කීපයකට පෙර සිදුවන අයේෂා ගයේශානි හෙද පුහුණුව පිණිස නිවසින් පිටවීයෑමත් පිළිබඳව බොහෝ වේලාවක් කතාබහ කරන පවුලේ උදවිය එදින නින්දට යන්නේ පසු දින යෑමට නියමිත පවුලේ විනෝද චාරිකාව පිළිබඳව ද කතාබහ කර ගැනීමෙන් අනතුරුවය. පසු දිනට පහන් විය. එදින අගෝස්තු මස පළමු වැනිදාය. සුරාජ්ගේ මැදිහත්වීම මත සිදුවන එම විනෝද ගමනේ ගමනාන්තය බවට පත්ව තිබුණේ වැල්ලවාය ඇල්වල ඇල්ල නැරඹීමය. සුරාජ් ඇතුළු සහෝදර සහෝදරියන් තිදෙනාට අමතරව එම ගමනට සහභාගි වූ ඥාතීන් පිරිස හයදෙනෙක්ය. ඒ අනුව දස දෙනකුගෙන් යුත් කණ්ඩායම නිවසින් පිටත්වන්නේ කලකින් ලැබුණ විවේකය සැහැල්ලූවෙන් ගත කිරීම පිණිසය. ඔවුන් රැගත් රථ දෙක බුත්තල නගරයට ළඟාවීමත් සමග සුරාජ් විසින් එතෙක් සැලසුම් කළ වැඩපිළිවෙළ වෙනස් කර ඇත. එහිදී ඔහු විසින් යෝජනා කර සිටින්නේ ඇල්ලව ඇල්ලට වඩා සුන්දරත්වයෙන් අනූන බඩල්කුඹුර පිහිටි පරෙවියන් ඇල්ල නැරඹීමට යා යුතු බවය. ඒ පිළිබඳව පිරිසෙහි විරෝධයක් මතුව නැත. ඔවුන් පරෙවියන් ඇල්ලේ දිය නෑම පිණිස ගමන් කරනු ලබන්නේ ඉන් අනතුරුවය. ඔවුන් පරෙවියන් ඇල්ල පිහිටි ප‍්‍රදේශයට ළඟා වනවිට එදින පස්වරු 2.00 ට පමණ ඇත. කණ්ඩායමෙන් පිරිසක් ගල්තලාව මත සිට අවට සිරි නරඹන්නට වූ අතර අයේෂාද එම පිරිසට අයත්ය. සුරාජ් ඇතුළු තවත් කීපදෙනෙක් ඊට මදක් පහළින් පිහිටි දියට බැස දිය නාන්නට වූහ. මද වේලාවක් දිය නෑමෙන් අනතුරුව සුරාජ් විසින් ගල්තලාව මත සිටි පිරිස අමතමින් සඳහන් කර ඇත්තේ ඔවුන්ට ද එම ස්ථානයට පැමිණෙන ලෙසය.

තම වැඩිමහල් සහෝදරයාගේ ඉල්ලීම කිසිසේත් ඉවත දැමිය නොහැක. ඒ අනුව අයේෂා ඇගේ වැඩිමහල් සහෝදරිය සහ ඇයගේ නෑනා වන තවත් තරුණියක් එම ස්ථානයට ළඟාවීම පිණිස හුන් තැනින් නැගිට පියවර කීපයක් ඉදිරියට පා නගා ඇත. අයේෂා ඉදිරියේ දෛවය අකාරුණික වන්නේ එලෙස තවත් පියවර කීපයක් ඉදිරියට ගමන් කිරීමත් සමඟය. ගල්තලාව මත ගමන්කරමින් සිටි ඇයගේ පය ලිස්සා යෑමත් සමඟ ඇය ඇදවැටෙන්නේ පරවියන් ඇල්ලේ අකාරුණික ජල කඳ මතටය. ඒත් සමගම අනෙක් පිරිස විසින් නගන ලද විලාපයෙන් ප‍්‍රදේශයම දෙවනත් වී ඇත. වහාම ඒ පිළිබඳව විමසිලිමත් වන සුරාජ්ට දකින්නට ලැබෙන්නේ තම බාල සහෝදරිය දිය කඳක් සමග පොර බදන තීරණාත්මක දර්ශනයක්ය. ලොව පවතින ගැඹුරුතම බැදීම් අතර සහෝදර පේ‍්‍රමය එකක්ය. ඒ වෙනුවෙන් බොහෝ දේ කැප කළ හැකිය. තම ජීවිත ආශාවද පසෙකින් තබන සුරාජ් තම නැගණිය බේරාගැනීම පිණිස රුදුරු දිය කඳට පනිනු ලබන්නේ එම අරමුණින් යුක්තවය. අයේශා හමුවේ අකාරුණික වන දෛවය සුරාජ් හමුවේද එලෙසින්ම නැගී සිටින්නේ එතැන් සිටය. ඔහුගේ උත්සාහයද මද වේලාවක් අතරතුර අසාර්ථකව ගොස් ඇත. පරවියන් ඇල්ලේ අකාරුණික සැඩ පහර විසින් සුරාජ්ගේ ජීවිතයද තම ගොදුරක් බවට පත්කර ගන්නේ කිසිවෙක් අපේක්‍ෂා නොකළ අයුරින්ය. සියල්ල නිමාවීමට ගතව යන්නේ කෙටි වේලාවක්ය. ඒ වනවිටද පරවියන් ඇල්ල විසින් වටිනා ජීවිත දෙකක් බිලිගෙන අවසන්ය. තමන්ගේ ඇස් ඉදිරිපිට තම සොයුරා සොහොයුරිය දියේ ගිලී යන ආකාරය දකින අනෙක් පිරිස විසින් නගන ලද විලාපය හේතුවෙන් එම ස්ථානයට ළඟාවන ගම්මුන්ගේ සහාය ඇතිව අනිකුත් පිරිස විසින් ඔවුන් ගොඩට ගෙන රෝහල්ගත කළ ද ඒ වනවිටද එම අයියා නගෝ දෙපළ සිය ජීවිත හැරගොස් අවසන්ය.

මිනිකැට මතුවන ඔක්කම්පිටිය පස්යට මිහිදන්ව ගිය අපරිමිත සහෝදර ප්‍රේමය…

ඉකුත් 04 වන දින ඔක්කම්පිටිය ‘කොළඹ ගෙදර’ මැද සාලයේ දල්වන ලද පහන් දෙකක්ය. මෘත දේහයන් දෙක ඊට මදක් මෙපිටින් තැන්පත් කොට ඇත. අකල්හී මියගිය අයියා සහ නැගණියට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් එක්රැස් වී ඇත. ඒ සෑම දෑසක්ම කඳුළින් පිරී ගොස්ය. හැඬුම් සඟවා ගත නොහී තැන ඉකිබිඳින පිරිසද ඒ අතර වෙති. සදාකාලික කඳුළක උරුමකරුවන් වූ සුමිත් විමලාවතී යුවළට තවදුරටත් හඬන්නට කඳුළු නැත. එකවර තම දරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙක් ඔවුන්ට අහිමිවී ගොස් ඇත. එළඹෙමින් පැවතියේ අනගි මිණි කැට මතුවන ඔක්කම්පිටිය ප‍්‍රදේශයේ අලූත කපන ලද වළක මිණි කැට දෙකක් වන් ජීවිත දෙකක් පස් යට මිහිදන් කරන දුක්බර හෝරාවය. අවට පරිසරයද වෙනදාට දකින්නට නොලැබෙන පාලූ ශෝකීයභාවයක ගිලී ඇත. අවසන උස්ව නැගෙන දුක් සෝසුසුම් මැද සුරාජ් සහ අයේෂා එකම වළක එකම මොහොතක මිහිදන් කරන ලද්දේ ඔවුන් සසරේ පතා ආ අයුරින්ය.

රුවන් ජයවර්ධන
බඩල්කුඹුර –
රවිදු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment