මිනිස් ජාවාරමට හවුල් තානාපති කාර්යාල නිලධාරියා ලංකාවට පැමිණි වහාම අල්ලනවා

156

ඇමැති මනූෂ කියයි

ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා වශයෙන් සේවය කළ කුෂාන් නමැත්තා සේවයෙන් ඉවත් කර ඇති අතර ඔහු මෙරටට පැමිණි වහා අත්අඩංගුවට ගන්නා බව විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවසීය.

ඊයේ උදෑසන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

“ජාවාරම්කරුවන් සංචාරක වීසා භාවිත කරමින් ගෘහ ආශ්‍රිත සේවා කටයුතු සඳහා බඳවා ගැනීම් කර තිබෙනවා. ඒ නිසා එම කාන්තාවන් ඒ රටවල හෝ ගමනාන්තයන් වන වෙනත් ස්ථානවල අතරමංවී විවිධ දුෂ්කරතාවන්ට මුහුණදී තිබෙනවා. එවැනි කාන්තාවන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමේදී වගකිවයුතු බඳවා ගැනීමේ ආයතනයක් හෝ අතරමැදියන් සොයා ගැනීමත් තානාපති කාර්යාලවලට දුෂ්කර වී තිබෙනවා. අතරමැදියන් විශාල ලෙස ගාස්තු අය කරමින් මෙම කාන්තාවන් බඳවාගෙන ඇති බව අනාවරණය වෙනවා. ඇතැම් අවස්ථාවලදී එක් රටකින් තවත් රටකට දේශසීමා හරහා ගෙන යන අවස්ථා දක්නට ලැබෙනවා.

ඕමාන හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුරක්ෂා නිවාසවල රඳවා සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් වන ඉල්ලීම් ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඉදිරිපත්ව තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගිය 12 දෙනෙක් හා සංචාරක වීසා මගින් වෙනත් කටයුතු සඳහා යන බව හඟවා ගිය තවත් 65 දෙනෙක් ලෙස 77 දෙනෙක් ඕමාන් සුරක්ෂා නිවාසවල සිටිනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුරක්ෂා නිවාසවල සංචාරක වීසා මගින් ගිය හත් දෙනෙක් සහ ලියාපදිංචි වී ගිය හැත්තෑ දෙනෙක් ලෙස 77ක් සිටිනවා. සුරක්ෂා නිවාසවල සිටින සම්පූර්ණ සංඛ්‍යාව එක්දහස් පන්සියය සහ දෙදහස දක්වා ඉහළ ගොස් තිබූ නමුත් දැන් එම සංඛ්‍යාව අඩු කරගෙන තිබෙනවා.

සංචාරක වීසා මත, ව්‍යාජ කරුණු පවසා ලංකාවෙන් පිටත්ව ගිය අය නැවත ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඇතිවෙනවා. සංචාරක වීසා කාලය ඉවත්ව ගිය දිනකට ඕමාන් රියාල් පහ බැගින් විශාල මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා. සමහර විට සේවායෝජකයින්ගෙන් මුදල් ලබාගෙන ඇති නිසා එක් අයෙක් ගෙන්වා ගැනීමට රුපියල් ලක්ෂ දහය දක්වා මුදල් ගෙවීමට සිදුව තිබෙනවා. ශ්‍රී ලාංකික කාන්තාවන්ට රැකියාවලදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් අපි තීන්දුවක් ගත්තා.

මෙහිදී ඕමානයේ තානාපති කාර්යාලයේ සේවය කරන පුද්ගලයකු සම්බන්ධයෙන් චෝදනාවක් තිබෙනවා. අපි මේ වන විට ඔහුගේ වැඩ තහනම් කරලා, තානාපති සේවයේ කටයුතු අත්හිටුවා ලංකාවට ගෙන්වීමට කටයුතු කර තිබෙනවා. ලංකාවට එන විට ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කරනවා.

මේ පැමිණිලි කරන අයත් නීති විරෝධීව සංචාරක වීසා මගින් රැකියාවලට පිටත්ව ගිහින් තිබෙන්නේ. අපි කාට වුණත් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා. එම නිලධාරියා කවුරු වුණත් අපි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. මේ පරීක්ෂණ කරන්නේ මොනම මාධ්‍යයකවත් යන්න කලින් අපි ගත් පියවර අනුවයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනාධිපතිතුමාගෙන් කරපු ඉල්ලීමක් අනුව මාස දෙකකට කලින් පරීක්ෂණ කණ්ඩායමක් ඒ රටට යනවා. ඒ අනුව තමයි මෙම කරුණු අනාවරණය කරගෙන තිබෙන්නේ.”
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment