මිනිස් පවුල ඉතිහාසයේ තීරණාත්මක කඩඉමක

143

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද පාර්ශ්වයන් අතර වන 26වන සමුළුව 2021 ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 12 දින දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහි පැවැත්වේ. පළමු වරට ලෝකයේ පරිසර සමුළුවක් පැවැත්වුණේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේදී 1972 වසරේදීය. එතැන් සිට වසර 50ක කාලයක් සපිරෙන සන්ධිස්ථානයකට ලෝකය ළඟාවෙමින් පවතී.

ගතවූ කාලය තුළ පැවැත්වී තිබෙන ජාතික, කලාපීය, අන්තර්ජාතික සමුළු ගණන විශාල ප‍්‍රමාණයකි. ඒ සියල්ල මගින් බොහෝ දුරට විසඳුම් සෙවීමට වෑයම් කරමින් ඇත්තේ පොදු ගැටලූ සමුදායකටය. පොදු න්‍යායපත‍්‍රයකට අනුගතවෙමින් මෙම අභියෝගය ජය ගැනීමට, උවමනාව තිබේනම් තවමත් ලෝකයට හැකියාව ඇති බව පැහැදිලිය. පැරිස් සම්මුතිය මගින් ඇතිකරගත් එකඟතා ක‍්‍රියාත්මක කිරීම වැනි ප‍්‍රමුඛ කාරණා සම්බන්ධයෙන් සපුරාලිය යුතු සාධක තිබේ.

විදුලි ඉලෙක්ටි‍්‍රක් වාහන දිරිගැන්වීම, ගල් අ`ගුරු බලශක්තිය ප‍්‍රබලයක් ලෙස භාවිතයෙන් ඈත්වීම ඉක්මන් කිරීම, වනාන්තර විනාශය අවමකර ගැනීම, වෙරළ ආරක්ෂක පද්ධති ඇති කිරීම වැනි පියවර ඔස්සේ දේශගුණික විපර්යාසවල බලපෑමට වැඩි වශයෙන් ලක්වන ප‍්‍රජාව වෙත අවධානය යොමුකිරීම වැනි කාරණා මෙවර සමුළුවේදී අවධානයට යොමුවනු ඇතැයි පැවසේ. පැරිස් සම්මුතිය ක‍්‍රියාත්මක කිරීමට රටවල් එකඟවී ඇතත් අමෙරිකාව පවා පසුගිය කාලයේදී ඉන් ඉවත්ව සිටියේය. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සම්මුතියට එළඹීම සඳහා සමුළුවේදී එකඟතාවකට පැමිණීමට හැකි වුවහොත් එයද විශාල ජයග‍්‍රහණයකි. සංවර්ධනය වෙමින් පවත්නා රටවල්ද බොහෝවිට හඬ නගන පරිදි සාකච්ඡා හා සම්මුතිවලින් ඔබ්බට යමින් එම එකඟතා මහ පොලවේ යථාර්ථයක් බවට පත්කිරීම සඳහා කටයුතු කළ යුතුව ඇත.

එහිදී වැඩිම වගකීම සංවර්ධිත රටවල් වෙතට පැවරේ. සංවර්ධනය කරා යාමේදී එම රටවල් අනුගමනය කළ ක‍්‍රියාමාර්ග තිරසර වී ද යන කාරණය ගැන ඔවුන්ට සිතා බැලීමට සිදුවනු ඇත. ඇතැම් ඌන සංවර්ධිත රටවල් චෝදනා කරන්නේ දියුණු රටවල් තමන් එම තත්ත්වය ළඟාකරගත් පසුව සෙසු රටවල සංවර්ධනය කරා යාමට ඇති අයිතිය අවුරා දමා ඇති බවය. කෙසේ වුවද සංවර්ධනය තිරසර විය යුතුය යන කාරණය සම්බන්ධයෙන් විවාදයක් තිබිය නොහැකිය. එළඹ ඇත්තේ නොපමාව හා අවධියෙන් ක‍්‍රියා කිරීමට කාලයයි. මිහිතලය උණුසුම්වීම දැවෙන ප‍්‍රශ්නයට ප‍්‍රධානම හේතුව වශයෙන් හඳුනාගෙන ඇත්තේ පොසිල ඉන්ධන දහනයයි. එනම්, මිනිසා පෙළමින් ඇත්තේ මිනිස් ක‍්‍රියාකාරකම්වල ප‍්‍රතිඵල නිසාම බව පැහැදිලි කාරණයකි. වර්ෂාව, නියග, කුණාටු වැනි කාළගුණික තත්වයන්ගේ වෙනස්කම් ස්වභාවිකව ඇති වුවද එම බලපෑම් මෙතරම් ව්‍යසනකාරීවීමට හේතුව මිනිස් ක‍්‍රියාකාරකම්ය.

ගෙවී ගිය දශකයක කාල සීමාව වාර්තා වී ඇත්තේ ඉතිහාසයේ උණුසුම අධිකම දශකය වශයෙනි. මේ හේතුවෙන් අන්තර්ජාතික වේදිකාවල උණුසුම් මාතෘකාවක් බවටද එය පත්ව ඇත. ගෝලීය උණුසුම පහළට ගැනීම වෙනුවෙන් ක‍්‍රියාකළයුතු බවට රටවල් එකඟවී තිබුණද එම ඉලක්ක සපුරා ගැනීම හා තම තමන්ගෙන් ඉටුවිය යුතු කොටස සලකන විට පරතරයක් ඇති අයුරු දිස්වේ. මෙවර සමුළුවේදීද, වසර 2030 වන විට එක් එක් රටවල් කාබන් විමෝචනය අඩු කිරීම සඳහා ගෙන ඇති සැලසුම් ඉදිරිපත් කිරීමට ඔවුන්ට සිදුවනු ඇත. සාමාන්‍ය අන්තර්ජාතික වේදිකාවේදී සංවර්ධනය වෙමින් පවත්නා රටවල තනි තනිව නගන හඬට අවධානය යොමු නොවන තරම්ය. එබැවින් එවැනි රටවල් එක්ව සමූහ වශයෙන් සිය යෝජනා හා ඉල්ලීම් ඉදිරිපත් කිරීම, හඬ නැගීම සිදුවේ. එය ලද ඵලදායී ප‍්‍රයත්නයකි. මෙහිදී නිර්මාණය කරගෙන ඇති එවැනි රටවල එකතුව රටවල් 46කින් සමන්විත වේ. එම රටවල ජනගහනය බිලියනයක් පමණ වන අතර, දේශගුණික ආපදා හේතුවෙන් වැඩියෙන්ම පීඩා විඳින රටවල් ඒ අතර තිබේ.

මෙම එකතුවේ වත්මන් සභාපති වශයෙන් කටයුතු කරන භූතානයේ සෝනම් වන්ග්දි පවසන පරිදි ස්වකීය රටවල ප‍්‍රමුඛතා සහ අභිලාසයන් සම්බන්ධයෙන් ප‍්‍රබල ස්ථාවරයක පිහිටා සිටීමට ඔවුන්ට හැකියාව ඇත. මෙහිදී ඔවුන් දිගටම එක්ව ක‍්‍රියා කරනු ඇත.

විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි ගතවූ පනස් වසරක කාල සීමාව තුළ නියඟය, ගංවතුර, ලැව්ගිනි ආදී අයහපත් කාළගුණික තත්ත්වවල බලපෑම් නිසා හටගන්නා වසංගතයන්ගෙන් සිදුවී ඇති ජීවිත හානිවලින් 2/3ක්ම වාර්තා වී ඇත්තේද ඌන සංවර්ධිත රටවල් වශයෙන් හඳුනා ගන්නා රටවල් 47කිනි. සංවර්ධනය වෙමින් පවත්නා මෙවැනි රටවල එම පසුබිම හා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් 2020 වසර වනවිට ඩොලර් බිලයන 100ක මුදලක් යෙදවීම සඳහා සංවර්ධිත රටවල් එකඟ වූයේ, වසර 2009 දීය. එනම් මීට දශකයකටත් කලිනි. එසේ වුවද 2019 වසර වන විට ඔවුන් ළඟාවී සිටියේ ඩොලර් බිලියන 80ක මට්ටමට පමණි. ඩොලර් බිලියන 100ක ඉලක්කය වසර 2023දී වත් සපුරා ගැනීමට හැකිවනු ඇද්ද යන්න අපැහැදිලිය. සංවර්ධනය වෙමින් පවත්නා රටවල් පෙන්වා දෙන්නේ තමන්ට හඬ නැගීමට සහ සංවාදයේ යෙදීමට සිදුව ඇත්තේ පැවැත්ම උදෙසා බවයි. දේශගුණික විපර්යාසවල බලපෑම් මේ ඇතැම් රටවල අනාගත පැවැත්ම තීරණය කරන සාධකයක් වනු ඇති බව දැනටමත් පෙන්වාදී තිබේ. මේ අයුරින්ම මුහුදු මට්ටම ඉහළ නැගීම සිදුවුවහොත් ඇතැම් රටවලට අත්වන ඉරණම ඛේදනීයයි. තම රටවල පැවැත්ම වෙනුවෙන් දේශගුණික ආපදා අවමකර ගැනීම වෙනුවෙන් යෙදවිය යුතු ප‍්‍රතිපාදන ඉහළ දැමීමට සංවර්ධිත රටවල් ක‍්‍රියා කිරීමේ අවශ්‍යතාව, ඌන සංවර්ධිත රටවල් එකතුව අවධාරණය කර ඇත.

ඓතිහාසිකව සලකන විටද සංවර්ධනය වෙමින් පවත්නා රටවල් වායුගෝලීය දූෂණය සඳහා දායකවී ඇත්තේ ඉතා සුළු වශයෙනි. බහුතරයක් වන එම රටවල් සියල්ලම වායුගෝලයට මුදාහැර ඇති කාබන් ප‍්‍රමාණය මෙන් දෙගුණයක් ගෝලීය ජනගහනයෙන් 1%ක් වන ධනවත්ම රටවල් වායුගෝලයට එක්කර තිබේ. තමන් අවම වශයෙන් වගකිව යුතු අර්බුදයක අවාසනාවන්ත වින්දිතයන් බවට වඩාත් පත්ව සිටින්නේ ලොව ඇති බහුතරයක් වන සංවර්ධනය වෙමින් පවත්නා රටවල ජනයාය. ස්වකීය ආහාර හා රැකියා අවශ්‍යතා සපුරා ගැනීමේදී ඔවුහු තවමත් විශාල වශයෙන් ස්වභාවික පරිසරය මත යැපෙමින් පවතී. දේශගුණික ආපදා හේතුවෙන් ඇතිවන විනාශයෙන් ගොඩ ඒමට ප‍්‍රමාණවත් ආර්ථික ශක්තියක්ද මේ රටවලට නොමැත. පොදු න්‍යායපත‍්‍රයකට අනුගතවෙමින් මෙම අභියෝගය ජය ගැනීමට, උවමනාව තිබේ නම් තවමත් ලෝකයාට ඒ සඳහා හැකියාව ඇති බව පැහැදිලිය. තවදුරටත් පමාවීමට කාලයක් නැති බව තේරුම් ගැනීමට එයම ප‍්‍රමාණවත්ය.

2015 පැරිස් කාළගුණික සම්මුතිය මගින් සාමාජික රටවල් එකඟවූයේ, ගෝලීය උණුසුම ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5කින් අඩුකර ගැනීමටය. එය කාර්මික විප්ලවයට පෙර පැවති මට්ටම වන අතර මෙම ඉලක්කය ලෝකය විසින් වසර 2050 වන විට ජයග‍්‍රහනය කළ යුතුව ඇත. ගෝලීය උෂ්ණත්වය ඉහළ නැගීමට හේතුවී ඇති කාබන්ඩයොක්සයිඞ් ඇතුළු හරිතාගාර වායූන් දැනටමත් සෙල්සියස් අංශක 1.1කින් පමණ ඉහළ ගොසිනි. දේශගුණය මේ වනවිටත් වෙනස් වෙමින් පවතින අතර ඉමහත් හානිකර ප‍්‍රතිඵල ගෙනදෙමින් එය තවදුරටත් වෙනස්වීම සිදුවනු ඇත. මනුෂ්‍ය වර්ගයා විසින් සිය අනාගතය කවරාකාර විය යුත්තේද යන කාරණය තෝරාගත යුතු වන යුගයක, පෘතුවියේ ඉතිහාසය තුළ තීරණාත්මක කඩඉමක අපි සිටින්නෙමු. මෙවැනි වාතාවරණයක් තුළ අපේක්ෂා දැල්විය හැකි ඉදිරි ගමනක යෙදීමට නම් විභූතිමත්වූ සංස්කෘතික හා ජීවන ආකෘතීන්ගේ විවිධත්වයක් මධ්‍යයේ අප පොදු ඉරණමක් කරා ගමන් කරන්නාවූ එකම මිනිස් පවුලක් සහ එකම පෘතුවි ප‍්‍රජාවක් වන්නේය යන කරුණ පිළිගෙන කටයුතු කළයුතුව ඇත.

පරිසරය වෙනුවෙන් අද අපි නිසි ලෙස වගකීම් ඉටු නොකළහොත් එහි අයහපත් ප‍්‍රතිවිපාකයන්ට මුහුණදීමට සිදුවන්නේ අනාගත පරපුරටයි.

advertistmentadvertistment
advertistmentadvertistment