මිනීමැරුමක් සිදුවෙලා සැකකාර පොලිස් නිලධාරීන්ට ඇප දෙන්න බැහැ

1110

අප්‍රේල් මස 19 වන දින රඹුක්කන නගරයේ ඇති වූ කලහාකාරි තත්වයට පාලනය කිරීමට වෙඩි තබා පුද්ගලයකු මිය යෑම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එවකට කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වූ කේ. බී. කිර්තිරත්න මහතා හා පොලිස් සැකකරුවන් තිදෙනා මෙම මස 1 වන දින කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය වෙත ඉදිරිපත් කරන ලදී.

මෙහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව විසින් මෙතෙක් සිදු කරන ලද පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණ වෙත දන්වා සිටින ලදී.

ඒ අනුව මෙතෙක් සැකකරුවන් 4 දෙනෙක් පමණක් ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉංදික ප්‍රභාත් නමැති පස්වන සැකකරුවෙක් ද අධිකරණය ඉදිරිපත් කරන ලදී. එමෙන්ම සිද්ධියට සම්බන්ධ භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබාදුන් බවට පැවැසූ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න මහතාගේ රාජකාරි හා පුද්ගලික දුරකථනවල විශ්ලේෂණ වාර්තා අදාළ සමාගම් විසින් ලබා ගෙන තිබෙන බවත් ඒ අනුව පරීක්ෂණ සඳහා මෙම තොරතුරු පාදක කර ගන්නා ලෙසත් ඉල්ලීය. මරණකරුගේ මරණ පරීක්ෂණ වාර්තාව ලබා ගැනීම සඳහා අධිකරණයේ නොතීසි කෑගල්ල රෝහල් අධ්‍යක්ෂවරයාට භාරදුන් බවත්, මෙම සිද්ධිය වූ රඹුක්කන ප්‍රතිෂ්ඨාපනය කිරීමක් සැකකරුවන් එම ස්ථානයට ආරක්ෂාව යටතේ ගෙන ගොස් සිදු කළ බවත්, මෙම මස 1 වන දින අධිකරණයේ පෙනී සිටි පස්වන සැකකරු වන ඉන්දික ප්‍රභාත් යන අයගේ ගිනි අවිය අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් පැවසීය. එම ගිනි අවිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. එමෙන් අදාළ දිනයේ දී එල්. එක්ස්. 2735 යන ඉන්ධන බවුසරයේ පැති කණ්ණාඩි, බැටරි 2 ක්, ගිනි නිවන උපකරණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව භාරයේ පවතින බවත් අධිකරණයට දන්වා සිටින ලදී.

අප්‍රේල් මස 19 වන දින කලහකාරි තත්වය හේතුවෙන් මාර්ගට හානි කිරීමෙන් මාර්ග සංවර්ධන අධිකාරියට, රඹුක්කන ඉන්ධන පිරවුම්හලට, ඉන්ධන බවුසරයකට, රඹුක්කන දුම්රිය පොළට අලාභ හානි සිදු වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව විසින් අධිකරණයට දන්වා සිටින ලදී.

පසුගිය මැයි මස 20 වන දින එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිටි කේ. බී. කීර්ති රත්න මහතා හා අනෙක් සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප අයැදුම් පත්‍රය පිළිබඳව ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරිය පවසා සිටියේ අදාළ දිනයේ දී වෙඩි තැබීමකින් අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව මිනීමැරුමක් සිදු වී තිබෙන බවත් එම නිසා සැකකරුවන් සිව්දෙනා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප අයැදුම් පත්‍රය ප්‍රතික්ෂේප කරන බවත්, එම නිසා සැකකරුවන් සිව්දෙනා මෙම මස 15 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බවයි. එමෙන් සැකකරුවන්ගේ පාර්ශවයට අවශ්‍යය නම් වෙනත් නීතිමය අධිකාරියක් ඇති ආයතනයක් වෙත මෙම ඇප ඉල්ලීම සිදු කළ හැකි බවට ද දන්වා සිටින ලදී.

එමෙන්ම මෙම රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව මගින් මීට ඉහත දී අත්අඩංගුවට ගෙන අධිකරණයේ දී ඇප ලබා දී තිබු පස්වන සැකකරු වන ඉන්දික ප්‍රභාත් යන අයගේ කලින් ලබාදී තිබූ ඇපය ක්‍රියාත්මක කෙරුණු අතර ඔහු සම්බන්ධව නඩුව සැප්තැම්බර් මස 7 වන දින යළි කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එදින දින පැමිණිල්ල සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරි නුවන් දන්ත නාරායන, ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක, උප පොලිස් පරීක්ෂක විජේසූරිය, උප පොලිස් පරීක්ෂක මැදගම හා පොලිස් සැරයන් සුමිත් යන මහත්වරු පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන්, නිතිඥ ප්‍රියන්ත දෙණියයා යන මහත්වරු පෙනී සිටියහ. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥවරු වන තේජිත කෝරලගේ, රෝෂාන්ත කුමාර, උදය රණසිංහ හා විජිත ද අල්විස් යන මහත්වරු පෙනී සිටියහ.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment