මිනීමැරුම් 3 කට අපරාධ රැසකට සැක ‘ක්ලචස් රංග’ නිදි ඇඳේම වෙඩි කා මරුට

760

මිනීමැරුම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන ක්ලචස් රංග නමැත්තා නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් ඊයේ (17 දා) උදෑසන පෑලියගොඩ බියගම පාරේ කළුපාලම අසල නිවසක් තුළදී වෙඩි තබා ඝාතනය කර ඇත.

ක්ලචස් රංග නමැත්තා ඊයේ උදෑසන 6.30 ට පමණ සිය නිවසේ නිදා සිටියදී යතුරුපැදියක පැමිණි පුද්ගලයන් දෙදෙනකුගෙන් එක් අයකු නිවසට ඇතුළුවී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර ඇති ඝාතකයා යතුරුපැදියේ නැගී පලාගොස් ඇත.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ක්ලචස් රංග, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මල්ලිකාරච්චිගේ සජිත් රංග හෙවත් ක්ලචස් රංග නමැත්තා 33 හැවිරිදි වියේ පසුවන අතර ඔහු පෑලියගොඩ බියගම පාරේ කළුපාලම අසල පදිංචි කාන්තාවක සමග විවාහ වී සිට ඇත.

මිනීමැරුම් 3 ක් ඇතුළු තවත් අපරාධ රැසකට සම්බන්ධ බව කියන ක්ලචස් රංග බෝම්බ ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැරීමෙන් පසු නිවසට පැමිණ ඇත්තේ ඉකුත් 04 වැනිදා බව පොලිසිය පවසයි.

මොහුගේ එක් පාදයක ඇතිවූ ආබාධයක් නිසා කාලයක් තිස්සේ අත්වාරුවක් පාවිච්චි කර ඇති අතර අත්වාරුව (ක්ලචස්) පාවිච්චි කිරීම නිසා ප්‍රදේශයේ ජනතාව අතර මොහු ක්ලචස් රංග යන නමින් ප්‍රසිද්ධව සිටි බව පොලිසිය පවසයි.

මෙම ඝාතනයට පැමිණි සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නැත. පැරැණි කෝන්තරයක් මෙම ඝාතනයට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක පහල කරයි.

ඝාතකයන් පැමිණෙන අයුරු සටහන්ව ඇති සීසීටීවී දර්ශන පොලිසිය සොයාගෙන ඇති අතර ඒ ඔස්සේ විමර්ශන පවත්වාගෙන යයි.

පෑළියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment