මිනී පෙට්ටියෙන් එන්න යායුතු රට මෙන්න

1603

දේව අපහාසයක් කිරීමේ චෝදනාව මත පාකිස්තානයේ සීකොට් නගරයේදී ශ‍්‍රී ලාංකිකයකු වූ ප‍්‍රියන්ත කුමාර දියවඩනගේ දරුණු වධ දී පණපිටින් පුළුස්සා ඝාතනය කිරීම පාකිස්තානය තුළ මේ ආකාරයෙන් සිදුවූ පළමුවන මනුෂ්‍ය ඝාතනය නොවන අතර අවසන් මනුෂ්‍ය ඝාතනය ද නොවනු ඇත. ඉස්ලාම් ආගම මුවාකර ගෙන ආගමික ත‍්‍රස්තවාදීන් විසින් පාකිස්තානය තුළ ජීවත්වන අන්‍ය ආගමිකයන්ගේ ජීවිත සහ හෘද සාක්ෂිය ප‍්‍රකාශයට පත්කිරීමේ අයිතිවාසිකම අසූචි වළකට දමා තිබේ. විවිධ ස්වරූපවලින් නැඟ එන ඉස්ලාමීය ත‍්‍රස්තවාදය මහ පොළොවට සමතලාකොට ඉතිරිවන යමක් වෙතොත් පෙරකී අසූචි වළට ඇද දැමීම ආගමික නිදහස අගයන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින සෑම රටක් විසින්ම කරනු ලැබිය යුතුය. මීට අවුරුදු 12කට පෙර පාකිස්තානයේ ඇඟලූම් කර්මාන්ත ව්‍යාපාරයට එක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරී ප‍්‍රියන්ත කුමාර දියවඩනගේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාකිස්තානය කටයුතු කරන ආකාරය සහ එහි අගමැති වූ ඉම්රාන් ඛාන් කටයුතු කරන ආකාරය පිළිබඳව වැඩි පැහැදීමක් අප කා තුළත් නොමැත. පාකිස්තානය යනු එරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජය මගින් නොව, ඒකාධිපති යුද හමුදාව විසින් පාලනය කෙරෙන රටකි. මේ යුද හමුදාව තුළ ඉස්ලාම් අන්තවාදී බළකඳවුරු විශාල ප‍්‍රමාණයක් ඇති හෙයින් අවසන් විග‍්‍රහයේදී යුද හමුදාව මෙන්ම ආණ්ඩුව ද පාලනය කෙරෙන්නේ ආගමික අන්තවාදීන් වෙතිනි. මේ නිසා වැඩිපුර කතාකරන්නට ගියොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ලැදි ඉම්රාන් ඛාන්ගේ ජීවිතයට ද අනතුරක් වීමට ඉඩ තිබේ.

පාකිස්තානය පාලනය කිරීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක් එන්නේ ද එසැණින් ඔහු හෝ ඇය ආගමික අන්තවාදීන් විසින් ඝාතනය කරනු ලැබීම චාරිත‍්‍රයකි. අගමැති සුල්ෆිකාර් අලි භූතෝ මරණ ලද්දේ ජෙනරාල් සියා උල්හක් නමැති ආගමික අන්තවාදී හමුදාපති විසිනි. දේව අපහාසය නීතියක් හැටියට පාකිස්තාන දණ්ඩ නීති සංග‍්‍රහය වඩාත් බලවත් කළේ ජෙනරාල් සියා උල්හක් ය. එකල ඔහු පාකිස්තානයේ ජනාධිපතිය. මහම්මත්තුමාට අපහාසවන කිසිදු යමක් ඍජුව, ව්‍යාජෝක්තියෙන් හෝ වක්‍රෝක්තියෙන් පැවසීම, ලිවීම, චිත‍්‍රණය කිරීම ,රඟ දක්වා පෙන්වීම හෝ හැඟවීම යන කාරණා සාපරාධි අපරාධයක් ලෙස සලකා වරදකරුවන්ට දරුණු දඬුවම්දීම 295 ක්‍ නමැති වගන්තිය යටතේ පාකිස්තාන දණ්ඩ නීති සංග‍්‍රහයට හඳුන්වාදීම ජෙනරාල් සියා ක‍්‍රියා කළේය. 1990 දී මේ නීතිය තවදුරටත් තද කළ ජෙනරාල් සියා ශුද්ධ වූ කුරාණයට හෝ මහම්මත්තුමාට අපහාස කරන්නන් හිරගෙදරට දැමීමට අවශ්‍ය නීති පාකිස්තාන දණ්ඩ නීති සංග‍්‍රහයට එකතු කළේය.

295 ක්‍ වගන්තිය යටතේ දේව අපහාස සිදුකරන අය එල්ලා මැරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන 1995 දී පාකිස්තානයේ දණ්ඩ නීති සංග‍්‍රහයට එකතු විය. මේ එකතු කිරීම කරන ලද්දේ ප‍්‍රජාත්නත‍්‍රවාදී නායකයකු ලෙස පෙනී සිටි අගමැති නවාස් ෂෙරීෆ් විසිනි. කර්මය යනු ඉතා පුදුම ලෙස ඵල දෙන කටයුත්තකි. පාකිස්තානය තුළ දේව අපහාස නීතිය වැපිරූ සියා උල්හක් ඔහු ගමන් කළ ගුවන්යානය පුපුරා යෑමෙන් අහසේදීම මළේය. එම ගුවන්යානය පුපුරා ගියේ නිකන්ම නොව, ගුවන් යානයට බෝම්බයක් සෙට්කර තිබූ බැවිනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී නවාස් ෂෙරීෆ් පසුකාලයේදී අගමැතිකම පැත්තකට දමා රටින් පැනගොස් අනාථයකු ලෙස ජීවත් විය. වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ බටහිරට හිතවත් නව්‍යවාදී නායිකාවක වූ බෙනාසීර් බූතෝ දෙවැනි වර අගමැතිවීම පිණිස ඡුන්දය ඉල්ලීමට සිය රටට පැමිණිවිට ආගමික අන්තවාදීන් විසින් බෝම්බ ගසා ඇයව මරණ ලදී. ඇය අගමැති වුණොත් පාකිස්තානයේ ඉස්ලාමීය ආගමික ත‍්‍රස්තවාදයට පහර වැදීමට විශාල ඉඩක් තිබුණ හෙයින් ඇයට බෝම්බ ගැසූ බව කියනු ලැබේ.

පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා ප‍්‍රදේශයේ මර්දන් දිස්ත‍්‍රික්කයේ පිහිටි අබ්දුල් වලිඛාන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු වූ මෂාල් ඛාන් 2017 අපේ‍්‍රල් මාසයේ මුලහරියේදී ඉස්ලාම් ආගම විවේචනය කළේය. ඒ බව දැනගත් ඉස්ලාමීය අන්තවාදී පිරිස් තරුණ ශිෂ්‍යයා අත්අඩංගුවට ගෙන ඔහුට පහරදී නිරුවත්කර පණපිටින් පුළුස්සා මරා දැමීය. ඒ වූ කලී මල්ෂා ඛාන්ගේ සිද්ධිය 2017 දී ක‍්‍රියාත්මක වූ ආකාරය යි. පාකිස්තාන ආගමික අන්තවාදය තුළ වෙනත් ආගම්වලට කිසිදු ඉඩක් නැත. මෙයට අවුරුදු 2000කට පෙර පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය යන දෙකම ඝාන්ධාර සංස්කෘතියට අයත් බෞද්ධ රටවල්ය. එම රටවල්වලින් බුදුදහම අතුගා දමන ලද්දේ ඉස්ලාම් අන්තවාදයේ කඩුවෙනි. මේ කඩුපතින් හෙළන ලද ලේ දහරා ඇද හැළුණු පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය ඉතා රළු සහ කර්කශ දේශගුණයකින් සමන්විත කාන්තාර බහුල, නූගත්කම පැතිරුණු මත්ද්‍රව්‍යයවලින්

වැසීගිය භූමියක් බවට පත්ව තිබේ. තලේබාන් ත‍්‍රස්තවාදීන් ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කිරීමෙන් පසු මුලින්ම කළේ වසර දහස් ගණනක් පැරණි බාමියන් බුද්ධ ප‍්‍රතිමා විනාශ කිරීම ය. මේ හෙණ ගහන අපරාධයෙන් පසු හරි කාරණා හෝ වැරදි කාරණා මත හෝ පිහිටා ඇමෙරිකානුවෝ ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළහ. එම යුද්ධයේදී තලෙයිබාන්වරුන් කොතරම් ප‍්‍රමාණයක් සංහාරයවී ද යත් ජනගහනයෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් අඩු විය. තලෙයිබාන්වරුන් විසින් බාමියන් බුද්ධ ප‍්‍රතිමා දකින ලද්දේ දේව අපහාසයක් ලෙසය. ප‍්‍රතිමා වන්දනා මාන නොකිරීම ඉස්ලාම් ආගමේ චාරිත‍්‍රයකි. එහෙත් ප‍්‍රතිමා වන්දනාමාන කරන අය සංහාරය කරන ලෙස මහම්මත්තුමා කොතනකවත් කියා නැත. එහෙත් තමන් යෑමට අපේක්ෂා කරන දිව්‍යලෝකයේදී වැඩි සත්කාර සහ වැඩි වශයෙන් බිරින්දෑවරු ලබාගැනීම සඳහා ඉස්ලාම් අන්තවාදීහු ප‍්‍රතිමා අදහන අය මැරීමටත් ප‍්‍රතිමා විනාශ කිරීමටත් පියවර ගෙන තිබේ.

ලෝකයේ රටවල් අතර වැඩි වශයෙන්ම මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන රටක් වන්නේ පාකිස්තානය යි. එනම් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අනුපිළිවෙළින් හඳුනාගෙන ඇති රටවල් 161න් 158 වැනි තැන හිමිවන්නේ පාකිස්තානයට ය. (2021 GLOBAL PEACE INDEX) මේ නිසා පාකිස්තානයේ සංචාරය කිරීම ජීවිතය හා මරණය අතර ගමනක් ලෙස සැලකීමට විදේශීය සංචාරකයෝ පුරුදුව සිටිති. ඇමෙරිකාවේ WALL STREET JOURNAL පුවත්පතේ දකුණු ආසියානු බියුරෝවේ ප‍්‍රධානියා වූ ඇමෙරිකානු ජාතික ඩැනියෙල් පර්ල් 2002 පෙබරවාරි පළමුවැනිදා පැහැරගත් ඉස්ලාමීය ත‍්‍රස්තවාදීහු ඔහුගේ ගෙල කපා මරා දැමූහ. ඩැනියල් පර්ල් ගේ හිස නැති කඳ මිස හිස කවදාවත් හමුවුණේ නැත. එබැවින් මේ රටට පය තබන ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාධ්‍යවේදීන් බෙල්ල නැතිව සිය රටට පැමිණීමේ අවදානමට මුහුණ දී සිටිති. පාකිස්තානයේ ඉස්ලාම් ත‍්‍රස්තවාදය සහ ආගමික අන්තවාදය ගැන තවත් විස්තර මේ තීරුවෙන් හෙට කියවමු.

advertistmentadvertistment
advertistmentadvertistment